අවතැන් වූ පවුල් 98කට නිවාස

0
45

මීතොටමුල්ල කුණු කන්ද  නාය යෑමෙන් විපතට පත්ව නිවාස අහිමි වූ  ජනතාවට  නිවාස ලබා දීම අද(20) සිට ආරම්භ කෙරේ.

එසේම අවදානම් කලාපයේ සිටින පිරිස ඉවත් කිරීමට මූලිකත්වය ලබාදෙමින් ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමට කටයුතු කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබා දී ඇත.

ඊයේ(19) ආපදා කළමනාකරණ  අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී  මෙම උපදෙස් ලබා දී ඇති අතර විපතටපත් ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කරමින් අද දින  නිවාස අහිමි වූ පවුල් 98කට නිවාස ලබා දීමට ආරම්භ කරයි.

සිදු වූ හානි පිළිබඳ තක්සේරු වාර්තාවක් සතියක් ඇතුළත ලබා දෙන ලෙසත් එම තොරතුරු ලැබුණු වහාම වන්දි ගෙවීම් සඳහා අවශ්‍ය මුදල් කඩිනමින් ලබා දීමටත් මෙහිදී තීරණය වී ඇති අතර මහා භාණ්ඩාගාරයෙන් මූල්‍ය ප්‍රතිපාදන වහා නිදහස් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දී තිබේ.

ප්‍රදේශයේ කුණු ඉවත්කිරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ සහයෝගය මත ඉදිරි මාස කිහිපය තුළ සිදු කිරීමට හා අනවසර පදිංචි කීරීම් තහනම් කිරීම පිළිබඳවත් ජනාධිපතිවරයාගේ උපදෙස් ලැබී ඇත.

එමෙන්ම මේ සම්බන්ධව  මාධ්‍ය නිවේදන නිකුත් කිරීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ සිදුවිය යුතු බවත් මෙම සාකච්ඡාවේදී තීරණය වූ අතර මීතොටමුල්ල ආපදා තත්ත්වය පිළිබඳ මීළඟ ප්‍රගති සමාලෝචන රැස්වීම ලබන 21 වනදා පැවැත්වීමට නියමිත විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here