කුණු කන්ද ගිණිගැනීමේ අවදානමක් – ජපාන නියෝජිතයන්ගේ වාර්තාව ජනපතිට

0
43


මීතොටමුල්ලේ ඛේදවාචකය පිළිබඳ සොයා බැලීම සඳහා මෙරටට පැමිණි ජපාන විශේෂඥ කණ්ඩායම සිය යෝජනා ඇතුළත් වාර්තාව අද (24) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දී තිබේ.
කුණු කන්ද සම්බන්ධයෙන් ගත යුතු දිගු කාලීන සහ කෙටිකාලීන යෝජනා ඊට ඇතුළත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
කසල කන්දේ පදනම සවිමත් කර පොලිතින්වලින් එය වසා දැමීම සහ ඉදිරි වර්ෂා කාලයට පෙර කසල කන්දේ පිහිටීම කන්දක හැඩයට නිර්මාණය කර ගුරුත්වාකර්ශනයට අනුකූල ව සකස් කළ යුතු බව කෙටිකාලීන පියවර ලෙස එහි දක්වා තිබේ.
කසල කන්දේ ප්‍රරමාණය ක්‍රමයෙන් අවම කර ප්‍රතිචක්‍රීකරණය, බලශක්ති උත්පාදනය සහ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා උපයෝගි කර ගත යුතු බව දිගුකාලීන යෝජනා ලෙස ජපාන නියෝජිතයින් එමගින් පෙන්වා දී ඇත.
එසේ ම කුණු කන්දේ පවතින මීතේන් වායු ප්‍රතිශතය 30%ක්‌ බව ජපානයෙන් පැමිණි කසළ කළමනාකරණය පිළිබඳ විශේෂඥයින් සිදු කළ පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
සාමාන්‍යයෙන් පැවතිය යුත්තේ 3%ක පමණ අගයක්‌ බව ඔවුන් සඳහන් කර තිබේ. මෙම තත්ත්වය මත කුඩා ගිණි පුළිඟුවකින් වුව ද ගිනි ගැනීමක්‌ ඇතිවීමේ අවදානමක්‌ පවතින බවට එම විශේෂඥයින් විසින් අනතුරු අඟවා ඇත.
ඒ අනුව සිදුවිය හැකි හානි වැළැක්‌වීම සඳහා මීතෙන් වායුව පිටවන ස්‌ථාන පොලිතින්වලින් ආවරණය කිරීමට යුද හමුදාවේ සහාය මත ආපදා කළමනාකරණ ආයතනය පසුගිය දා පියවර ගත්තේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here