චන්ද්‍රිකාගේ ආරක්ෂාව ගැන මහින්දගෙන් නිවේදනයක්

0
41


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ආරක්ෂාව අඩු කිරීම සඳහා අධිකරණයේ නඩුවක් ගොනු කළ බවට රජයට සම්බන්ධ දේශපාලඥයින් විසින් සිදු කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම මාධ්‍ය අංශය මේ බව සඳහන් කර තිබේ.
එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරියගේ ඉල්ලීමක් අනුව ඇයගේ නිල නිවසට ගොස් සාකච්ඡා කර ඇයගේ ආරක්ෂක ප්‍රධානියාගේ ඉල්ලීම අනුව ආරක්ෂක නිලධාරීන් සහ අවශ්‍ය කරන පහසුකම් ලබා දී ඇති බව එම නිවේදනයේ දැක් වේ.
එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදි වෙයි,
මාධ්‍ය නිවේදනය
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව අඩු කිරීම සඳහා අධිකරණයේ නඩුවක් ගොනුකළ බව රජයට සම්බන්ධ දේශපාලඥයින් ප්‍රකාශ කළ බව මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ. එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමි.
ජනාධිපති ලේකම් කාර්යාලය හෝ ආරක්ෂක අමාත්‍යාංශය හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එවැනි නඩුවක් ගොනුකර නොමැත. එම නඩුව ගොනු කර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානයක් විසිනි.
එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති තුමියගේ ඉල්ලීමක් අනුව එතුමියගේ නිල නිවසට ගොස් සාකච්ඡා කර එතුමියගේ ආරක්ෂක ප්‍රධානියාගේ ඉල්ලීම අනුව ආරක්ෂක නිලධාරීන් සහ අවශ්‍ය කරන පහසුකම් ලබා දී ඇත.
අධිකරණ තීන්දුව අනුව එතුමියගේ ආරක්ෂාවේ කිසිඳු වෙනසක් කර නොමැත. අධිකරණ තීන්දුවක් තිබුණ ද එතුමියගේ ආරක්ෂක ප්‍රධානියාගේ ඉල්ලීම් අනුව සැම අවස්ථාවක දී ම රජය විසින් සියලු පහසුකම් ලබා දී ඇත.
තමන්ගේ දේශපාලන පලිගැනීම් ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කිරීමේ චේතනාවෙන් මෙවැනි ප්‍රකාශයන් කරන්නේ බංකොලොත් දේශපාලකයන් ය. මේ ආණ්ඩුව යටතේ කොටි සංවිධානයට නැවත පණදීමේ උත්සාහයන් කීපයක් හෙළි වී ඇත. මේ වසර මුල දී විදේශ රටවල සිටින කොටි ක්‍රියාකාරීන් පුනරුත්ථාපනය නොවූ හිටපු කොටි ත්‍රස්තවාදීන් යොදවා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමක් හෙළි කරගැනීමට පොලීසියට හැකි විය.
මේ සම්බන්ධයෙන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර ඒ සඳහා භාවිත කිරීමට නියමිත ව තිබු ක්ලේමෝ බෝම්බ 02 ක් ද සොයා ගන්නා ලදී. වර්තමාන රජය රැඳවුම් භාරයේ සිටි භයානක කොටි ත්‍රස්තවාදීන් නිදහස්කර ඇත. පසුගිය රජය කොටි ත්‍රස්ත්‍රවාදීන් 11,000 වැඩි ප්‍රමාණයක් පුනරුත්ථාපනය කර, එසේ කිරීමට නොහැකි අතිශයින්ම දරුණු ගණයේ කොටි ත්‍රස්තවාදීන් 200 පමණ රැඳවුම් බාරයේ තබාගෙන සිටියේ ය. වර්තමාන ආණ්ඩුව නිදහස් කර ඇත්තේ පුනරුත්ථාපනය කළ නොහැකි කොටි ත්‍රස්තවදීන් ය. මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකර ඇත්තේ මෙවැනි පසුබිමක ය.
වසර 30 යුද්ධය අවසන් කර ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙනගිය රාජ්‍ය නායකයාවන මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය ආරක්ෂා කිරීම වර්තමාන ජනාධිපතිතුමා ඇතුළු රජයේ වගකීම බව තරයේ සඳහන් කරමි.
රොහාන් වැලිවිට
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ
මාධ්‍ය ලේකම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here