චීන මිත්‍රත්ව‍ය ඉන්දීය සබඳතාවලට බලපෑමක් නෙමෙයි

0
32
ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින මිත්‍රත්වය ඉන්දියාව සමඟ පවතින සබඳතාවලට බලපෑමක් නොවන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
චීන සහ ඉන්දීය රජයන් පවතින තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන බව පවසන අග්‍රමාත්‍යවරයා කියා සිටියේ මෙම සබඳතා පිළිබඳ ගැටලුකාරී තත්වයක් හුවා දක්වන්නේ ඇතැම් ඉන්දීය මාධ්‍යවලින්  බවයි.
ඉන්දීය මාධ්‍යය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී යොමු වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මේ බව ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟ යහපත් ආරක්ෂක හා ආර්ථික සබඳතා පවතින අතර ත්‍රිකුණාමලය වරාය ජපානය සමඟ එක්ව සංවර්ධනය කිරීමට ඉන්දියාවේ සහයෝගය ලබාගත හැකි ආකාරය පිළිබඳව සොයා බලමින් සිටින බව අග්‍රමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.
චීන හමුදා සබ්මැරීන් ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදට පැමිණීම පිළිබඳ අග්‍රමාත්‍යවරයාට යොමු වූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ චීන සබ්මැරීන් ශ්‍රී ලංකාවට පැමිණීම සාමාන්‍ය සිදුවීමක් බවයි.
ඒ අනුවී චීනය සමඟ  කිසිඳු ආරක්ෂක සබඳතාවක් නොමැති බව අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
හම්බන්තොට වරායේ චීන ආයෝජන සම්බන්ධයෙන් ද විමසීමක් කළ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා ආයෝජනය කිරීමට ඕනෑම අයෙකුට හැකියාව පවතින බවයි.
එය ඉන්දියාවට කළ විවෘත ආරාධනයක්ද යන්න පිළිබඳව නැවතත් ප්‍රශ්න කිරීමකදී අගමැතිවරයා කියා සිටියේ ඉන්දීය නෞකාවලට ද හම්බන්තොට වරායට පැමිණීමේ හැකියාව පවතින අතර එහි කිසිඳු ගැටළුවක් නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here