නරේන්ද්‍ර මෝදි ජනපති හමුවෙයි

0
40


ජාත්‍යන්තර වෙසක් දින උළලෙහි සමාරම්භක උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවීමට පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (11) රාති‍්‍රයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හමු විය.
ඒ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ය. ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පවතින සාම්ප‍්‍රදායික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙම සංචාරය පිටුවහලක්වන බව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.
තමන් මීට පෙර සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි බවත් එහෙත් විවිධ හේතූන් මත එය මගහැරී ගිය බවත් ඔහු සඳහන් කළේ ය.
ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයක් ද පිරිනමනු ලැබී ය.
එම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් ද සහභාගී වී ඇත. උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ද එම අවස්ථාවට එක් ව සිටියේ ය.
ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප‍්‍රධානත්වයෙන් අද (12) පෙරවරු 09.00 ට කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී විශේෂ සම්මන්ත‍්‍රණයක් පැවැත්වීමට නියමිතයි.
ඊට රටවල් 82 ක බෞද්ධ නියෝජිතයන් 750 දෙනෙකු පමණ සහභාගිවීමට නියමිත බව වාර්තා වේ. ඊට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ද සහභාගිවීමට නියමිතයි.
එසේ ම අද දිනයේ දී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ දී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදාගැනීමට නියමිත අතර ඉන්දීය රජයේ වියදමින් හැටන් ප‍්‍රදේශයේ ඉදිකළ රෝහලක් ද ඔහු විසින් විවෘත කරනු ඇත.
එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් සමරු උත්සවය විවෘත කිරීම සඳහා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ සහභාගිවීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here