පොලීසියට ඔත්තුවක් දුන් පුද්ගලයෙක් අභිරහස් ලෙස මියයයි

0
54


නීති විරෝධී වැලි ලොරියක් පොලීසියට අල්ලා දුන් බව කියන ඔත්තුකරුවෙකු අභිරහස් ලෙස මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව කරුවලගස්වැව පොලීසිය පවසයි.
පුත්තලම, තබ්බෝව, පාවට්ටාමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රේමරත්න නමැති පුද්ගලයෙක් එලෙස මිය ගොස් ඇත.
මිය ගොස් ඇති පුද්ගලයා විසින් ප්‍රදේශයේ විවිධ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් පොලීසිය ඇතුළු රාජ්‍යය ආයතන දැනුවත් කරන අයෙකු බවට හඳුනා ගෙන ඇති බවත්, පාවට්ටාමඩුව ඇළ මාර්ගයෙන් නීති විරෝධී ලෙස කපන ලද වැලි ප්‍රවාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් 27 වැනි දා කරුවලගස්වැව පොලීසියේ නිලධාරීන් දැනුවත් කර ඇති බව වාර්තා වේ.
පොලිස් නිලධාරීන් පැමිණ වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
එම සිද්ධියෙන් අනතුරු ව වැලි ලොරියේ හිමිකරු විසින් මිය ගොස් ඇති පුද්ගලයාට බැණ වදිමින් ඔහු පසු පස එළවා ගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
ඔවුන්ගෙන් බේරීම සඳහා අසල වූ නිවසකට වැදී ඇති මිය ගොස් ඇති අය එහි දොරගුළු දාගෙන ඇති බව පොලීසිය විසින් කරන ලද විමර්ශනවල දී හෙළිවී ඇත.
නිවසේ දොරගුළු විවෘත නොකිරීම හේතුවෙන් මිය ගොස් ඇති අයගේ දරුවෙකු පැමිණ එහි දොර කඩා බලන විට පියා එම නිවස තුළ වැටී සිටිනු දැක ඇති බවත්, අනතුරුව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවත්, රෝහල් ගත කරන විටත් ඔහු මිය ගොස් තිබී ඇති බවත් වාර්තා වේ.
මරණය සිදුවී ඇත්තේ කුමන ආකාරයකට ද යන්න අනාවරණය කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතවයි.
කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here