”මහින්ද මැයි රැළියට ආවේ තරහෙන් ඒ බව මම දැක්කා” – ඒස්.බී

0
48
හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ සංවිධානය කළ මැයි දින රැළියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වූයේ කෝපයෙන් බවත් ඒ බව තමන්ට හොඳින් වැටහුණු බවත් සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර දක්වන අමාත්‍යවරයා ” මහින්ද රාජපක්ෂ මහතාට මෙම මැයි රැළියට සහභාගි වීමට නොහැකියි. නමුත් ඔහු පැමිණි අයුරින් වැටහෙනවා, ඔහු පැමිණියේ අකමැත්තෙන්, කේන්තියෙන් බව. ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ මහතාට වත්මන් ආණ්ඩුවේ ප්‍රබල පාර්ශවයකින් දුන් ‍පොරොන්දුවක් මතයි.
ඒ ‍පොරොන්දුව තමයි, පළාත් පාලන මැතිවරණය ස්ථීර ලෙසම පැරණි ක්‍රමයට පැවැත්විය යුතු යැයි සඳහන් වීම. ඒ ‍පොරොන්දුව වෙනුවෙන් නව පක්ෂයක් නිර්මාණය කළා. නව ‍පොහොට්ටු පක්ෂය නිර්මාණය කරනවාට මහින්ද රාජපක්ෂ මහතා කිසිසේත්ම මනාප වුණේ නැහැ.
නමුත් පැහැදිලිවම කිව යුතුයි කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන මැතිවරණයක් සඳහා නීති මේ වනවිට සම්පාදනය කර අවසන්. තම අපේක්ෂාව ඉටු නොවුණු නිසා එතුමා බලවත් කෝපයෙන් සිටින බව මම දැක්කා. ඒ නිසා තමයි, එතුමාට වැරදුණේ.” යනුවෙන් සඳහන් කළේය.
එසේම ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මැතිවරණයට ඉදිරිපත්වන බව එම අමාත්‍යවරයා සඳහන් කරයි.
කම්කරු දින සැමරුමට සහභාගිවීමෙන් අනතුරුව එම පිරිස මෙම තීරණය ගෙන ඇති අතර ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන්ගේ පවුල්වල සාමාජිකයන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන බවට තොරතුරු ලැබී ඇති බව ඔහු සඳහන් කරයි.
හෙතෙම මේ බව පැවසූවේ මහනුවර දී මාධ්‍ය අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here