මීතොටමුල්ලේ දේපොළ හානි තක්සේරුව අද සිට

0
29

කොළොන්නාව – මීතොටමුල්ල කුණු කන්ද නාය යාම හේතුවෙන් විපතට පත් වූ පුද්ගලයන්ගේ දේපළ තක්සේරු කිරීමේ කටයුතු අද (17) සිට ආරම්භ කෙරෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කොළොන්නාව ප්‍රාදේශීය මහලේකම් කාර්යාල නිලධාරීන් යොදා ගනිමින් එය සිදු කරන බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එමෙන්ම අවදානම් කලාපවල ජීවත්වන ජනතාව හඳුනා ගනිමින් ඔවුන් සුරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමේ කටයුතු ද ඒ සමග ම ආරම්භ කිරීමට නියමිත ය.
මේ පිළිබඳ අවශ්‍ය උපදෙස් හා දැනුවත් කිරීම් මේ වනවිටත් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා කොළොන්නාව ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය වෙත ලබා දී ඇති බව ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක් වේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැති සහන සැලසීමේ සාකච්ඡාවෙන් අනතුරුව දේපළ හානි සම්බන්ධයෙන්වන තක්සේරු වාර්තාව දින 05ක් තුළ ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (16) නිලධාරීන්ට නියෝග කර ඇත.
එමෙන්ම මෙහි දී ආපදාවලට ලක් ව අවතැන්ව සිටින ජනතාව වී අලෙවි මණ්ඩලයට අයත් මීතොටමුල්ලේ පිහිටි ගබඩා සංකීර්ණ 3ක පදිංචි කිරීමට ද නියම කර තිබේ.
මේ අතර ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටියේ අවතැන්වූවන් සඳහා නිවාස ලබාදීමට කොළඹ මහ නගර සභාව රුපියල් මිලියන 300ක් ලබාදීමට එකඟ වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here