වෙසක් සතිය තුළ විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්

0
45


ඉකුත් 07 වැනිදායින් ඇරඹි වෙසක් සතිය තුළ මුළු දිවයිනම ආවරණයවන පරිදි විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසයි.
මේ වැඩපිළිවෙල යටතේ කොළඹ ඇතුළු ප්‍රධාන නගර, උප නගර, ග්‍රාමීය ප්‍රදේශ තුළ එම ප්‍රදේශයන් අයත් පොලිස් ස්ථාන මගින් මෙම ආරක්‍ෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.
කොළඹ නගරය තුළ ක්‍රියාත්මක විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙළ යටතේ වෙසක් කලාප ලෙස නම් කර ඇති දියවන්නාව, චෛත්‍ය පාර, හුණුපිටිය ගංගාරාම වැනි ප්‍රදේශයන් තුළ මහජනතාව හැසිරවීමට සහ රථවාහන පාලනය සඳහා වැඩි පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යොදවා ඇත.
එසේම අදාළ ප්‍රදේශ තුළ ගැවසෙන ගැට කපන්නන් ඇතුළු අපරාධ සිදු කිරීමට මාන බලන පුද්ගලයන් පිළිබඳ නිරීක්ෂණය කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
එමෙන්ම මේ වනවිට කොළඹ නගරය තුළ ක්‍රියාත්මක සීසීටීවී කැමරා පද්ධතියට අමතර ව අතිරේක කැමරා කිහිපයක් වෙසක් කලාප ආවරණයවන පරිදී යොදවා තිබේ.
එසේම සීසීටීවී කැමරා සවි කරන ලද වාහන යොදා ගනිමින් ආරක්‍ෂාව අතින් වැදගත් ස්ථාන ආවරණය කිරීමටත් පොලීසිය ක්‍රියා කරනු ලැබේ.
වෙසක් සිරි නැරඹීමට වැඩිහිටියන් සමග පැමිණෙන කුඩා ළමයින්ගේ ආරක්‍ෂාව සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙස ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
වෙසක් සමය තුළ මාර්ග භාවිතා කරන පදිකයින්ට සහ සෙසු රියදුරන්ට අවහිරවන පරිදි යතුරු පැදි ධාවනය කරන පැදිකරුවන් සම්බන්ධව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කරන බව ද දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here