”මට පෙම්වතෙක් නෑ, මමත් නිකමට වගේ Photos ටිකක් යැව්වා” – හාරකෝටියෙන් ආ අංජලී

0
206

”මම කැමතියි කිව්වා”

”ඒ වෙද්දි මම දැනගෙන හිටියේ නැහැ”

”අපේ පවුලේ හැමෝම ඉන්නේ ඉතාලියේ”

”දැන් මමයි තාත්තයි ඉන්නේ ලංකාවේ”

”කෝටිපතියෝ” කියන්නේ මේ දිනවල දී අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යක්. එහි රංගනයෙන් දායකවන රංගන ශිල්පීන් ද විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටිනවා. එසේ ම එම නාට්‍ය තුළින් ඔබේ ආලින්දයට පැමිණෙන අලුත් මුහුණක් තිබෙනවා. ඇය එහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරන අංජලී ය. කතාවට අංජලී වූ ඇය සැබැ ජීවිතයේ තුෂිනි ප්‍රනාන්දු වේ. මේ ඇය පුවත්පතකට ලබාදුන් තොරුතුර ය.

මුලින්ම අපි තුෂිනිගේ පෞද්ගලික තොරතුරු ටිකක් කතා කරමු..
මගේ ගම කටුනේරිය. වෙන්නප්පුව හෝලි ෆැමිලි කොන්වන්ට් එකෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබලා කටුනේරිය ශා/සෙබස්තියන් විදුහලින් උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් හැදෑරුවා. පුංචිකාලේ ඉඳන් මගේ තිබුන ලොකුම හීනය වෛද්‍යවරියක්වීම . උසස්පෙළ සමත් වුණත් මට වෛද්‍ය විද්‍යාලයට යන්න ලකුණු මදි වුණා . ඉන් පසුව මම ඉතාලියට ගියා. අපේ පවුලේ හැමෝම ඉන්නේ ඉතාලියේ. මම එහි දී හෝටල් කේෂ්ත්‍රයේ රැකියාවක් කළා.

තුෂිනිට භාෂා කීපයක් කතා කරන්න පුළුවන් න… ?.
සිංහල , ඉංග්‍රීසි සහ ඉතාලි භාෂා ගැන පූර්ණ දැනීමක් තියෙනවා. ජර්මන් සහ ස්පාඤ්ඤ භාෂාවන් කතා කරන්නට පුළුවන්. ඉතාලියේ දී මම කළ රැකියාවට භාෂා ඥානය ගොඩක් ප්‍රයෝජනවත් වුණා.

තුෂිනි නිළිකමට එක්වීම සුවිශේෂ සිදුවීමක් නේද.. ?
ඇත්තටම ඔව්.. මම පාසල් වේදිකාවේ වත් රඟපාලා තිබුණේ නැහැ.. ඒත් කාලයත් එක්ක කලාවට මොකක්දෝ ආශාවක් ඉබේම හිතට ඇති වුණා.. ඉතාලියේ සැලුන් එකක සුමිත් පෙරේරා කියලා අයියා කෙනෙක් දවසක් මගෙන් ඇහුවා රඟපාන්න කැමති ද කියලා.. ස්වප්නා අක්ක තමයි මට සුමිත් අයියව අඳුන්නල දුන්නේ.. සුමිත් අයියා ලංකාවේ ඉන්න කාලේ නිරූපන ශිල්පියෙක්. ඒ වෙද්දි මටත් රංගනය ගැන ආශාවක් තිබුණ හින්ද මම කැමතියි කිව්වා.

රංගන ශිල්පි උදිත් අබේරත්න සුමිත් අයියගේ යාළුවෙක්. ඒ හරහා මට උදිත් අයියව අඳුනගන්න ලැබුණා. උදිත් අයියාට දුරකතනයෙන් කතා කළාම මට චාමර සමරවික්‍රම මහතාව අඳුන්නලා දුන්නා. ඒ වෙද්දි මම දැනගෙන හිටියේ නැහැ. ඒ මහතා “හාරකෝටිය” ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරයා කියලා. මගේ පොටෝස් ටිකක් එවන්න කියලා කියපු නිසා මමත් නිකමට වගේ පොටොස් ටිකක් යැවුවා. ඊට පස්සේ මට කතා කරලා මගෙ රඟපෑම් ඇතුළත් වීඩියෝ එකක් එවන්න කිව්වා. ඒ සද්දා මංගල සූරිය බංඩාර. ඒ වෙද්දි මම “හාරකෝටිය “ ටෙලි නාට්‍යයට වහ වැටුණු රසිකාවියක්.. මම “හාරකෝටිය” ටෙලි නාට්‍යයේ කොටසක් රඟපාලා වීඩියෝ එකක් යැවුවා.. ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සර් දුරකතනයෙන් කතා කරලා මාව “කෝටිපතියෝ” ටෙලි නාට්‍යයේ අංජලීගේ චරිතයට තෝරාගෙන තියෙනවා කියලා කිව්වම මට හිතාගන්නවත් බැරි වුණා.. මම තාත්තත් එක්ක ලංකාවට ආවේ “කෝටිපතියෝ” රඟපාන්න. දැන් මමයි තාත්තයි ඉන්නේ ලංකාවේ.

පාසල් වේදිකාවේවත් රඟපාලා නැති තුෂිණිට හා හා පුරා කැමරාවක් ඉදිරියේ රංගනයක් ඉදිරිපත් කරද්දී දැනුණේ මොන විදියේ හැඟීමක් ද .. ?
මට මුලින්ම රඟපාන්න තිබුණේ මගේ පෙම්වතා මිය ගියාට පස්සේ හඬා වැටෙන ජවනිකාවක් . මුල දී පුංචි තැති ගැන්මක් තිබුණා . ඒත් ශිවගුරුනාදන් සර් මාව හොඳින් මෙහෙයවූවා.. දෙපාරක් විතර ඒ ජවනිකාව රූගත කළා.. මට මේ ටෙලි නාට්‍යයේ දී ප්‍රවීණයන් රැසක් එක්ක වැඩ කරන්න අවස්ථාව හිමිවුණා.. ඒකත් මට ලොකු අත්දැකීමක් වුණා..

“කෝටිපතියෝ” ඉවරවෙලා ආයෙමත් ඉතාලියට යනවා ද….?
ඇත්තම කියනව නම් මම රඟපාන්න ආසයි . මම කැමතියි දිගටම ලංකාවේ නතර වෙලා වෘත්තිය නිළියක් වෙන්න.

මේ වන විටත් “කෝටිපතියෝ” නිසා ඔබට ඒ ගමන් මග සැකසිලා නේද .. ?
මේ වනවිටත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනවා.. ටෙලි නාට්‍ය වගේම චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා .චිත්‍රපටයට ආරාධනා ලැබෙද්දී මම “කෝටිපතියෝ” රූගතකිරීම්වල හිටියේ. ඒ නිසා ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නට සිදුවුණා.. මේ වෙද්දී “පිං” ටෙලි නාට්‍යට එක්වෙලා ඉන්නවා. තවත් ටෙලි නාට්‍ය සඳහා ඉදිරියේ දී එක්වේවි. “කෝටිපතියෝ” සඳහා එක්වන විට මම රඟපෑම ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ.. මේ කටයුත්තට එකතුවුණාම අපිට ප්‍රවීණ පිරිස් සමගත් වැඩ කරන්න සිදුවනවා. එහි දී අපිටත් අපේ රංගනය ඒ අය සමග ඒ මට්ටමින්ම පවත්වා ගන්න වෙනවා. මම කැමතියි යම් අවබෝධයක් ඇතුව මේ තුළ රැඳෙන්න . ඒ හින්දා රංගනය ගැන යම් හැදෑරීමක් කරන්නත් මගේ අදහසක් තියෙනවා.

බොහෝ නළු නිළියන් පවසන දෙයක් තමයි රංගනයේ දී තෝරා ගැනීම් කරන බව. ඔබත් දායක වෙන්නේ තෝරා බේරාගත් නිර්මාණවලට විතර ද . ?
මම මගේ ගමන පටන් ගත්තේ හොඳ තැනකින්. ඒ හින්දා දායකවන නිර්මාණ ගැන හිතන්න වෙනවා. එහිදී යම් තෝරා ගැනීමක් කරන්න වෙනවා.

සරල විනෝදාත්මක චිත්‍රපටයක මල් ගස් වටේ දුවන පෙම්වතියගේ චරිතය රඟපාන්න ආරාධනා ලැබුණොත් එය බාරගන්නවා ද..?
ලැබෙන නිර්මාණය සරල විනෝදාත්මක චිත්‍රපටයක් ද එහිදී මල් ගස් වටේ දුවන්න සිදුවනවා ද කියන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් එතැන දී කරන්න තියෙන්නේ මල්ගස් වටේ දුවන එක විතරක්ම නම් නිර්මාණයේ ගැඹුරක් නැත්නම් මම එය බාරගන්නේ නැහැ. නිර්මාණය තුළ සහ මට රඟපාන්න තියෙන චරිතය තුළ යම් ගැඹුරක් තියෙනවා නම් මම එය භාරගන්නවා.

ආදරය ගැන විවාහය ගැන කතාකරන්න කැමති ද … ?
මට තවම ප්‍රේමවන්තයෙක් නැහැ. යෝජනා නම් ඇවිල්ල තියෙනවා . ඒත් මම තවම ඒ ගැන හිතුවේ නැහැ. දැන් නම් මම කලාව තුළ ගමනක් යන්න සූදානම් වෙලා ඉන්න හින්දා ඒ දේවල් ගැන හිතන එක ටිකක් කල් දාන්න වෙයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here