මාතර කොල්ලයට යොදා ගත් මෝටර් රථය සහ පුද්ගලයෙක් පොලිස් බාරයට

0
13

පසුගියදා මාතර ප්‍රදේශයේ සිදු වූ ස්වර්ණාභරණ වෙළෙදසැල් මංකොල්ලය සඳහා යොදා ගත් බවට සැක කරන මෝටර් රථය හා එහි හිමිකරු අද (02) අළුයම කළුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තලගල, භාවනා මධ්‍යස්ථාන පාර, මොරගහහේන යන ලිපිනයේ දී මෙම සැකකරු හා මෝටර් රථය අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

මාතර මංකොල්ලය සඳහා යොදා ගනු ලැබු බවට සැක කළ CAE 4706 දරණ සුදු පැහැති ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් පිළිබඳ පොලීසිය පසුගිය කාලයේ බොහෝ විමර්ශන සිදු කළ අතර එහි ලියාපදිංචි අයිතිය ඇත්තේ කාන්තාවකට බවට අනාවරණය වී තිබිණි.

කෙසේ වෙතත් දිසා අපරාධ ඒකකයේ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් ලද තොරතුරු අනුව පරීක්ෂණ කටයුතු සිදු කළ අතර, අපරාධකරුවන් මාස 04ක පමණ කාලයක් මෙම නිවසෙහි පදිංචිව සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

කොල්ලකෑමට සම්බන්ධ පුද්ගලයින්වන කොස්ගොඩ තාරක, මියගිය චාමර හා මෙම අපරාධය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වු කොස්ගොඩ ඩිල්ශාන් නමැති කොස්ගොඩ තාරකගේ ඥාති සහෝදරයා මෙම නිවසේ නතර වී සිට ඇත.

ඊයේ (01) රාත්‍රියේ සිට අද අළුයම වෙන තෙක් දිසා අපරාධ ඒකකයේ නිලධාරීන් මෙම නිවස අසල රැක ගෙන සිට ඇති අතර, වාහනයේ ලියාපදිංචි අයිතිකාරියගේ පුරුෂයා අළුයම නිවසට පැමිණිමත් සමග රථය හා පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයා මඩපාතගේ කපිල කුමාර නැමති වයස අවරුදු 43ක් වූ පුද්ගලයෙකි.

කෙසේ වෙතත් මංකොල්ලය සිදු කර අවස්ථාවේ දී පොලිස් වෙඩි පහරින් තුවාල ලැබු සැකකරුවන් තිදෙනා රෝහල් ගත කර ඇත්තේ ද මෙම මෝටර් රථයෙන් බව අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here