නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙන් මාධ්‍ය නිවේදනයක්

0
12

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ‘ටයිම්ස්’ ලිපිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන් අමතන්නැයි එම පුවත්පත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

හම්බන්තොට වරාය, චීන ණය සහ චීනයේ ‘චයිනා හාබර්’ සමාගම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට මුදල් ලබාදීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ගවේෂණාත්මක ලිපියක් පසුගිය ජූනි 26 වැනි දා ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළ විය.

ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මාධ්‍යවේදීන්ට තර්ජනය කර ඇති බවට චෝදනා කරමින් ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ජාත්‍යන්තර කර්තෘ මයිකල් ස්ලැක්මෑන් එම නිවේදනය නිකුත් කර තිබේ.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ජූනි 26 වැනි දා ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළ වූ නිරවද්‍ය ගවේෂණාත්මක ලිපියට දායකත්වය දැක් වූ මාධ්‍යවේදීන් දෙදෙනකු ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කර තිබේ.

මේ ආකාරයෙන් ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම කිසිසේත අනුමත කළ නොහැක. මෙවැනි ක්‍රියා විවේචනය සහ මාධ්‍ය නිදහස සීමා කිරීමටත් අවසාන වශයෙන් මහජනතාවගේ තොරතුරු දැන ගැනීමේ හැකියාව අහිමි කිරීමටත් හේතු වනු ඇත.

ශ්‍රී ලංකා බලධාරීන් අපේ පුවත්පතට මෙන්ම වෙනත් ඕනෑම පුවත්පතකට සේවය කරන මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

මහින්ද රාජපක්ෂට ‘ටයිම්ස්’ ලිපිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබේ නම් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර ඒ සම්බන්ධයෙන් ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන්ට අමතන්න”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here