විදෙස් සේවා කාර්යාංශයේ වංචා ගැන විමර්ශනයක්

0
5

ඉකුත් 2012 වසරේ දී විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ සිදු වූවා යැයි කියන මූල්‍ය අවභාවිත සිදුවීම් පිළිබඳ විමර්ශනය කරන ලෙස අභියාචනාධිකරණය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඊයේ (18) නියෝග කර තිබේ.

අභියාචනාධිකරණය එසේ නියෝග කළේ එම කාර්යාංශයයේ සේවයේ නියුතු තිදෙනෙකු විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බළමින් ය.

අභියාචනාධිකරණ සභාපති ප‍්‍රීති පද්මන් සූරසේන, සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන නිලධාරීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැළිණි.

ප‍්‍රසාද් ප‍්‍රියදර්ශන, සුමිත‍්‍රා පි‍්‍රයදර්ශන සහ ක‍්‍රිෂානි සිල්වා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති සහ එහි අධ්‍යක්ෂක මණ්ඩලය, එවකට හිටපු විදේශ රුකියා අමාත්‍යවරයෙකුවන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබේ.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.

පළමු හා දෙවැනි පෙත්සම්කරුවන් කාර්යාංශයේ සහකාර කළමනාකරුවන්වන අතර තුන්වන පෙත්සම්කරු කාර්යාංශයේ මාණ්ඩලික සහකරුවෙකු වේ.

කාර්යාංශයේ දුෂණ වංචා සහ මුදල් අවභාවිත කිරිමේ සිද්ධි සම්බන්ධයෙන් එම කාර්යාංශයේ අධ්‍යක්ෂකවරුන් කිහිපදෙනෙකුම 2016 වසරේ දී පාර්ලිමේන්තු කෝප් කමිටුවට කැඳවනු ලැබිණි.

එම වසරේදීම මාර්තු මාසයේ දී කාර්යාංශයේ අභ්‍යන්තර විගණන නිලධාරීන් විසින් පෙත්සම්කරුවන් ඇතුළු පිරිසකගෙන් ප‍්‍රකාශ ලබා ගත් බව ද කියා සිටී.

ඉන්පසුව රුපියල් හය ලක්ෂ හැට එක්දහස් හාරසිය හැත්තෑ පහක මුදල් අවභාවිතා සිද්ධියක් පිළිබඳ පෙත්සම්කරුවන් වගකිව යුතු බවට එම විගණන පරීක්ෂක නිලධාරී විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් විය.

පසුව මේ පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීමට විශ‍්‍රාමික පරිපාලන නිලධාරියෙකු පත් කරනු ලැබී ය. ඔහුගේ වාර්තාවට අනුව් මෙම මූල්‍ය අවභාවිත සිද්ධීන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඉදිරිපත් කළ යුතු බවට නිර්දේශ කර තිබේ.

මේ අතර මීට පෙර පත්කළ විගණන නිලධාරියා විසින් පෙත්සම්කරුවන් වරදකරුන් කරමින් වාර්තාවක් නිකුත් කර තිබූ අතර ඊට අමතරව ඔවුන්ගේ වැටුප් වර්ධක නවතා අදාළ මූල්‍ය වංචා සිද්ධියට සම්බන්ධ මුදල් පෙත්සම්කරුවන්ගේ වැටුපෙන් අය කර ගන්නා ලෙසට නිර්දේශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here