ඕස්ට්‍රේලියාවේ ආරෝන් ෆින්ච්ගෙන් ලෝක වාර්තාවක්

0
4

විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයෙක් වාර්ත කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාවට නැවත වරක් හිමිකම් කීමට ඔස්ට්‍රේලියා විස්සයි20 නායක ආරෝන් ෆින්ච් අද (03දා) සමත්විය.

ඒ සිම්බාබ්වේ කණ්ඩායම හා හරාරේ හි පැවැති විස්සයි20 තරගයේදී පන්දු 76කදී ලකුණු 172ක් වාර්තා කරමිනි. ඒ අනුව 2013 වසරේදී එංගලන්තයට එරෙහිව ඔහු රැස්කර තිබූ ලකුණු 156ක වාර්තාවම මෙසේ නැවත වරක් බිඳ වැටුණි.

ෆින්ච්ගේ ඉනිමට හතරේ පහර 16ක් හා හයේ  පහර 10ක් ඇතුළත්විය.

කෙසේ වෙතත් විස්සයි20 පිටියේ (ලීග තරගද ඇතුළත්ව) ඉහළම ඉනිමට හිමිකම් කියන්නේ ක්‍රිස් ගේල්ය. ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී ඔහු රෝයල් චැලෙන්චර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් රැස්කළ ලකුණු 175ය.

ෆින්ච් හා ඩී’ආකි ශොර්ට් පළමු කඩුල්ලට ලකුණු 223ක සබඳතාවක් පැවැත්වූ අතර එය විස්සයි20 පිටියේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම සබඳතාවද වෙයි.

ඔස්ට්‍රේලියාව කඩුලු 2ට ලකුණු 229ක් රැස්කළ අතර සිම්බාබ්වේ කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 129ක් පමණි. ඒ අනුව ලකුණු 100ක ජයක් ඔස්ට්‍රේලියාවට හිමිවූ අතර එය විස්සයි20 පිටියේ ඔවුන් ලැබූ විශාලම ජයග්‍රහණයද වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here