මිහින්ත‍ලේ නාහිමිටත් මරණ තර්ජන

0
7

මිහින්තලය රජ මහා විහාරයේ භාරකාර විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන්ට මරණ තර්ජන එල්ල වී තිබෙන බවට පුද්ගලයෙකු සිදුකළ අනතුරු ඇගවීමක් පිළිබඳව උන්වහන්සේගේ රියැදුරාවන අසංක සුධීර නානායක්කාර මිහින්තලය ‍පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

උන්වහන්සේගේ රියැදුරා කළ දැන්වීමෙන් අනතුරුව උන්වහන්සේ ලබා දුන් උපදෙස්වලට අනුව අසංක සුධීර නානායක්කාර මිහින්තලය ‍පොලීසියට පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

වසර ගණනාවක් උන්වහන්සේගේ රියැදුරා වශයෙන් සේවයේ නියුතු අසංක පසුගිය 15 වැනි දා රාත්‍රියේ මිහින්තලය නගරයට ගිය අවස්ථාවේ මිහින්තලය ප්‍රදේශයේ පදිංචි තරුණයකු පැමිණ රජමහා විහාරාධිපති හිමියන්ට මරණ තර්ජනයක් තිබෙන බවත් එය අපේම මිනිස්සුන්ගේ වැඩක් හැබැයි අපි නම් නෑ යනුවෙන් පවසා තිබේ.

විහාරාධිපති ධම්මරතන හිමියන් නොබියව අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලා සිටින අතර රුසියාවේ හිටපු තානාපති හා අනුරාධපුර දිස්ත්‍රික් හිටපු එක්සත් ජාතික පක්ෂ කළමනාකාර වෛද්‍ය රාජා ජෝන්පුල්‍ලේගේ වෛද්‍ය මධ්‍යස්ථානයට හා නිවසට ගිනිතබා 2008 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයේ දී අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ පැවැති නඩුවේ දී එදින ඇසින් දුටු සියලුම සිදුවීම නොසඟවා විවෘත අධිකරණයේ සාක්ෂි ලබා දීම නිසා උන්වහන්සේට මීට පෙර තර්ජනයක් එල්ල වී තිබේ.

මහාධිකරණයේ අධිකරණයේ සාක්ෂි ලබාදීම හේතුවෙන් මිහින්තලය ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙකුට විසි වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණු අතර ඔහුගේ පුත්‍රයා සිය පියාට සිර දඬුවම් නියමවන අයුරින් සාක්ෂි දුන් විහාරාධිපති හිමියන් ඝාතනය කරන බව ප්‍රසිද්ධියේම පවසා තිබේ.

ඔහු පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ දී තරග කර මිහින්තලය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීධුරයක් හිමිකර ගත් අයෙකි. හිටපු මන්ත්‍රීවරයාගේ ඥාතියෙකු මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබෙන අතර උන්වහන්සේට අනතුරක් කිරීමට යම් සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට සැකකරන රියැදුරා උන්වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් ‍පොලීසියට පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

වෛද්‍ය රාජා ජොන්පුල්‍ලේගේ නිවසට අනර්ථයක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නොබියව අධිකරණය හමුවේ සාක්ෂි දුන් මිහින්තලා රජ මහා විහාරාධිපති හිමියන්ට ආරක්ෂාව සලසන ලෙස මීට පෙර පැවැති සර්ව ආගමික සමුළුවක දී ආගමික නායකයන් පිරිසක් ‍පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here