එමිල් රන්ජන් හා නියෝමාල් රංගජීව යළි රිමාන්ඩ්

0
2

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ දී සිරකරුවන් 27 දෙනෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින බන්ධනාගාර කොමසාරිස් වරයෙකුවන එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව යන සැකකරුවන් තවදුරටත් ලබන 31 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

එම නඩුව අද (17) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඉදිරියේ කැඳවනු ලැබී ය.

රහස් පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ පරීක්ෂණවල දී සොයාගත් ටී 56 වර්ගයේ ගිනි අවි 25ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට පියවර ගත්ත ද එම වාර්තාවේ එකම ගිනි අවිය පිළිබඳ දෙවතාවක් සඳහන්වන බව කියා සිටියේ ය.

මේ හේතුවෙන් අදාළ ගිනිඅවි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අලුතින් නියෝගයක් ලබාදෙන මෙන් ද රහස් පොලීසිය ඉල්ලීම් කළේ ය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ ගිනි අවි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර වාර්තාවක් කැඳවන මෙන් රහස් පොලිසියට නියෝගයක් ලබා දුන්නේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා ලබන 31 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් රහස් පොලිසියට නියම කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here