ධාන්‍ය ඇට අහුරකින් හෘද රෝග අවදානම අඩු නර ගන්න පුළුවන් බව ඔබ දන්නාවා ද?

0
20

වර්ග 07කට අයත් ධාන්‍ය ඇට අහුරක් බැගින් සතියකට දෙවරක් හෝ ඊට වඩා වැඩි වාර ගණනක් ආහාරයට ගැනීමෙන් හෘද රෝගවලට ගොදුරුවීමේ අවදානම 23% කින් අඩු කර ගත හැකි බව අමෙරිකා එක්සත් ජනපදයේ බොස්ටන්හි පිහිටි හාවඩ් විශ්වවිද්යාලයීය පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයක දී අනාවරණය වී තිබේ.

දෙලක්ෂයකට අධික පිරිසක් යොදාගෙන සිදු කර ඇති එම පර්යේෂණයට අනුව රටකජු, කජු, වෝල්නට්ස්, ආමන්ඩ්ස්, පිස්ටාචියෝස්, හේසල්නට්ස් හා පෙකෑන්ස් යන ධාන්‍ය වර්ගවලින් අහුරක්බැගින් සතියකට දෙවරක්හෝ එයට වැඩි වාර ගණනක් ආහාරයට ගැනීමෙන් මෙම තත්ත්වය ඇතිවන අතර හෘදය වස්තුව ආශ්‍රිතව රෝග වැළඳීම ද එම ධාන්‍ය වර්ග අනුභව කරන්නන් අතර 15% කින් පමණ අඩු බව අනාවරණය වූ බව පර්යේෂකයෝ පවසති.

රටකජු පමණක් අහුරක් බැගින් ඉහත කී අයුරින් ආහාරයට ගැනීමෙන් හෘද රෝගවලට ගොදුරුවීමේ අවදානම 15% කින් අඩු කර ගත හැකි බව මෙම පර්යේෂණය මෙහෙය වූ හාවඩ් විශ්වවිද්යාලයේ පෝෂණවේදිනී වෛද්ය මාර්තා ගුආෂ් ප්‍රකාශ කර තිබේ.

වෛද්‍ය මාර්තාට අනුව ප්‍රතිඔක්සිකාරකයන්, ප්‍රෝටීන් වර්ග, පෝෂක ද්‍රව්‍ය, ලවණ හා තන්තු අධිකව අන්තර්වීම හේතුවෙන් සුපිරි ආහාරයක්ලෙස හැඳින්වෙන මෙම විවිධ වර්ගයේ ධාන්‍ය වර්ග ආහාරයට එක්කර ගැනීම වැඩි කිරීමෙන් ජනතාවට හෘද රෝග ඇතුළු බෝ නොවන රෝග වැළඳීමේ අවදානම අඩු කර ගත හැකි ය.

ස්පාඤ්ඤයේ බාසලෝනා නගරයේ අන්තරාසර්ග හා පෝෂණය පිළිබඳ වෛද්‍ය සායනයට අනුබද්ධ වෛද්‍ය එමිලියෝ රොස්ට අනුව ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් සත්‍ය වශයෙන්ම හෘද රෝගවලින් වැළකී සිටිය හැකි ය.

මෙම ධාන්‍ය වර්ග දිගු කාලයක්එක දිගට ආහාරයට එක්කර ගැනීමෙන් දරුණු හෘද රෝග තත්ත්වයන් කෙරෙහි එය බලපෑම් එල්ල කරන්නේ ද යන්න පිළිබඳ වැඩිදුරටත් අධ්‍යනය කළ යුතු බව ඔහු කියයි. පොත්ත ඉවත් නොකරන ලද හා සකස් කිරීමට භාජන නොවූ අමු ධාන්‍ය ඇට වර්ග ස්වාභාවික සෞඛ්‍ය කරල් ලෙස හැඳින් විය හැකි බවත් ඒවා මගින් හෘදය වස්තුව ආරක්ෂා කරන අතරම සෞඛ්‍ය සම්පන්න අයුරින් වයස්ගතවීම සිදු වීමට ද එය මහෝපකාරවන බව පර්යෙෂකයෝ කියා සිටිති.

බ්‍රිතාන්‍ය හෘද සංගමයේ සහායක වෛද්‍ය අධ්‍යක්ෂ මහාචාර්ය ජෙරමි පියර්සන් පවසනුයේ මෙයට පෙර අමු ධාන්‍ය ඇට වර්ග ආහාරයට ගැනීමෙන් හෘද රෝගවලට ගොදුරුවීමේ අවදානම අඩුවන බවට හෙළිදරව් කළ පර්යේෂණයට මෙම නව පර්යේෂණයෙන් සහායක්ලබා දී ඇති බවයි.

එහි දී සීනි, ලුණු ඇතුළු රසකාරක වර්ග නොයෙදූ තනි පැහැ ධාන්‍ය වර්ග අනුභව කිරීමෙන් මෙම ප්‍රතිඵල ලබා ගත හැකි බව පර්යේෂකයින් විසින් සිදු කර ඇති පර්යේෂණයේ දී හෙළි වී තිබේ. මෙම පර්යේෂණ වාර්තාව අමෙරිකානු හෘද සංගමයේ සඟරාවෙහි පළ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here