”මෙහෙම කරමු නේද කියලා එයා මගෙන් අහනවා” – ටනාෂා හතරසිංහ

0
258

”ආච්චිලා සීයලා තමයි මට වැඩිපුර කතා කරන්නේ‍‍”

”ඕන බැනුමක් අහගෙන ඉන්නවා”

”සැබෑ ජීවිතයේ මම කුරුළු තරම් අහිංසක නැහැ”

”සුමීරාන්ගෙන් ලොකු සහායක් මට ලැබෙනවා”

පුංචි තිරයෙන් වගේම මියුසික් වීඩියෝවලිනුත් රසික හදවත් අතරට ආපු කෙනෙක් තමයි ටනාෂා හතරසිංහ කියන්නේ. ඇය රංගන ක්ෂේත්‍රයේ වගේම නිරූපන ක්ෂේත්‍රයෙත් ගොඩක් ජනප්‍රිය තරුවක්. ඉතිං ඇය ආදරය ගැන වගේ ම ඇයගේ අලුත්ම තොරතුරු ගැන සතිඅන්ත පුවත්පතකට කියලා තිබුනා. ඒ මෙන්න මේ විදිහට.

ටනාෂා මේ දවස්වල පුංචි තිරයේ පේන්න ඉන්නවා?
ඔව්, ඒ නීල පබළු ටෙලි නාට්‍යයෙන්. සතියේ දවස්වල රාත්‍රි 08.55ට සිරස ටී.වී. නාළිකාවෙන් නීල පබළු විකාශය වෙනවා. ‘කුරුළු කුමාරි’ කියන අහිංසක ගැහැනු ළමයගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. එයා දැන් ඉන්න ගැහැනු ළමයින්ට වඩා වෙනස්. හරිම ආසාවෙන් ඒ චරිතය මම කරනවා.

ටනාෂා නිතර ටෙලි තිරයේ දකින්න ලැබෙන කෙනෙක් නෙවෙයි. කාලයකට පස්සේ මේ නිර්මාණය භාර ගන්නත් විශේෂ හේතුවක් තිබෙන්න ඇති?
මම මුලින්ම සම්බන්ධ වුණේ ‘තිමිර ගිර’ නාට්‍යයට. ඊට පස්සේ තමයි මම ‘රන් දේදුන්නක්’ චිත්‍රපටයට සම්බන්ධ වුණේ. කාලයකට පස්සේ තමයි ටෙලි නාට්‍යයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්නෙත්. ඇත්තටම මේ නාට්‍යයේ කුරුළුගේ චරිතය ගැන කිව්වම තමයි මට මේ නාට්‍යයට සම්බන්ධ වෙන්න ආස හිතුණේ. ඉදිරියේ දී කුරුළුගේ චරිතය එහෙම් පිටින් වෙනස් වෙනවා. ඉතිං ඒ වෙනසට මම හරිම කැමැතියි.

කුරුළු කුමාරිට ප්‍රේක්ෂක ආදරයත් මේ දවස්වල වැඩිපුර ලැබෙනවලු නේද?
ඔව්, හිතුවේවත් නැති විදියේ ප්‍රතිචාර කුරුළුට ලැබෙනවා. පාරේ යද්දී වුණත් බොහෝ අය ළඟට ඇවිත් කතා කරනවා. ආච්චිලා සීයලා තමයි මට වැඩිපුර කතා කරන්නේ. චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

කුරුළුගේ අහිංසකකමටද ඔය ප්‍රතිචාර ලැබෙනවා ඇත්තේ?
ඔව්, ඒකයි ගොඩක් අය කුරුළුට කැමැති. සමාජ මාධ්‍යවලිනුත් ගොඩක් අය ඒ චරිතයට ප්‍රතිචාර දක්වලා තිබ්බා. ඉතිං ඒ වගේ ප්‍රතිචාර ලැබෙද්දී ගොඩක් සතුටින් ඉන්නේ.

ටනාෂා වැඩිපුර කැමැති සිනමාවටද පුංචි තිරයටද?
මම හිතාගෙන හිටියේ චිත්‍රපට විතරක් කරන්න. ඒත් නීල පබළු හරි ලස්සන කතාවක්. ඒ වගේම මේ නාට්‍ය ගොඩක් අය බලන වෙලාවක විකාශය වීම කියන කාරණා එක්ක නීල පබළු ටෙලි නාට්‍ය කරනවා කියලා හිතුවා.

ටෙලි තිරයේ පෙනෙන මුහුණු සිනමා නිර්මාණවලට ගන්න සමහර අධ්‍යක්ෂවරු කැමැති නැහැ. එතකොට ටනාෂාගේ අගයත් සිනමා අධ්‍යක්ෂවරුන්ට අඩු වෙයි ද?
මම තෝරා බේරා ගැනීමක් එක්ක වැඩ කරන්නේ. නීල පබළු ටෙලි නාට්‍ය කරන ගමන් වෙනත් ටෙලි නාට්‍ය කරන්නත් මගේ අදහසක් නැහැ.

මේ දවස්වල ටෙලි තිරයේ පේන්න ඉන්න ටනාෂා අහිංසක චරිතයක්. හැබැයි කුරුළුට වඩා සැබෑ ජීවිතයේ ටනාෂා වෙනස් ඇති නේද?
මමත් වෙලාවකට කුරුළු වගේ අහිංසකයි. කුරුළු කවුරු හරි බැන්නත් අහගෙන ඉන්නවා. ඕන බැනුමක් අහගෙන ඉන්නවා. සැබෑ ජීවිතයේ මම කුරුළු තරම් අහිංසක නැහැ. ඒ වගේම සැබෑ ජීවිතයේ මම නිරූපිකාවක්. ඉතිං මම කුරුළු වගේ නෙවෙයි. මම ෆැෂන් කරනවා.

සිනමාවේ අලුත් වැඩවලටත් ටනාෂා සම්බන්ධ වුණාද?
වාසිත සමරනායකගේ ‘රජ දහන’ චිත්‍රපටයේ රූගත කිරීම් ඉවර කළා. තවත් චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා. ඒ නිර්මාණ ඉදිරියේ දී තිරගත වෙයි.

හැමදාම ටනාෂා පෙම්වතියගේ චරිතයට සීමා වෙයි ද?
දැනට නම් මම කළ හැම චරිතයක්ම පෙම්වතියගේ චරිතය. නමුත් ‘රජ දහන’ චිත්‍රපටය ආට් ෆිල්ම් එකක්. ඒ චිත්‍රපටයේ දී මම කරන පෙම්වතියගේ චරිතය අනෙක් චිත්‍රපටවල කළ පෙම්වතියගේ චරිතයට වඩා වෙනස්. ඉදිරියටත් ඒ වගේ වෙනස් වෙනස් චරිත කරන්න ආසාව තිබෙනවා.

කලාත්මක චිත්‍රපටයක් වෙනුවෙන් වුණත් ඕනම චරිතයකට කැප කිරීමක් කරන්න ටනාෂාට පුළුවන්ද?
මම මට ගැළපෙන මට කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙන චරිත විතරයි කරන්නේ. මම ලැබෙන ආරාධනා තෝරාගෙන තමයි භාර ගන්නේ. මට කරන්න බැරි දෙයක් මම කරන්නේ නැහැ.

පුංචි තිරයේ ටනාෂාගේ පෙම්වතා සුමිරාන්. කොහොමද පුංචි තිරයේ ආදර කතාවට සුමිරාන්ගෙන් ලැබුණු සහාය?
සුමීරාන්ගෙන් ලොකු සහායක් මට ලැබෙනවා. මට වැඩිපුරම ෂූටිං තියෙන්නේ එයා එක්ක. සුමිරාන් මීට කලින් ටෙලි නාට්‍ය කිහිපයක වැඩ කරලා තියෙනවා. මට එයා තරම් ලොකුවට අත්දැකීම් නැහැ. රඟපාද්දි වුණත් ‘මෙහෙම කරමු නේද’ කියලා එයා මගෙන් අහනවා. සඳුන් රාජකරුණා මහත්මයා තමයි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ. ඔහුගේ අදහස් සහ මඟපෙන්වීම මේ ආදර කතාව ලස්සන කරන්න ලොකු පිටිවහලක් වුණා.

පුංචි තිරයේදී සුමිරාන් ටනාෂාට හොඳ පෙම්වතෙක් වුණාද?
ඔව්. පුංචි තිරයේදී එයා හොඳ පෙම්වතෙක්.

සැබෑ ජීවිතෙත් ටනාෂා පෙම්වතියක් වෙන්න ඇති?
සැබෑ ජීවිතේ තාම එහෙම විශේෂ කෙනෙක් ලැබුණේ නැහැ.

ටනාෂා ක්ෂේත්‍රයේ කෙනෙක්ව සහකාරයා කරගන්න කැමැති ද?
දැනට නම් එහෙම තීරණයක් නැහැ. මොන ක්ෂේත්‍රයේ වුණත් මාව තේරුම් ගන්න පුළුවන් මම ඉන්න ක්ෂේත්‍රය එක්ක මාව විශ්වාස කරන්න පුළුවන්. මගේ පවුලේ අයටත් ආදරය කරන්න පුළුවන් කෙනෙක් ලැබුණොත් ඒ ගැන හිතනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here