”ඔව් මම දැන් පෙම්වතියක්, මම කෙනකුට ආදරය කරනවා” – චූලක්ෂි

0
241

”මට ඕන වුණේ ලස්සන ගැහැණු ළමයෙක් වෙන්න නෙවෙයි”

”ප්‍රථම ප්‍රේමය මුණ ගැහිලා තිබුණා”

”ඒ ආදර කතාව නතර වුණා”

චූලක්ෂි කියන නම රූපය වගේම නිරූපන හැකියාව වෙනකොට ජාත්‍යන්තරයට ගිහින් අවසන්. මෙරට බොහෝ දෙනෙක් ඇයගේ හැකියාව හඳුනනවා. ඇය ආදරයට බොහෝ සෙයින් ආදරය කරන කෙනෙක් කියලයි කියන්නේ. මේ ඇය සම්බන්ධයෙන් පුවත්පතක පළ වූ ලිපියක්.

සුන්දර දැරියක් වූ චූලක්ෂිට මල්සරා බැලුම් හෙලන්නේ පාසල් වියේදීම ද..?
මම ඉස්කොලෙ පහේ පන්තියේ ඉඳන්ම ගත කළේ පාසල් නේවාසිකාගාරයේ. මගේ පාසල බාලිකා පාසලක්. ඉස්කෝලේ නිවාඩු දවසට අපිව පාසලෙන් දෙමවුපියන්ට භාරදෙනව පාසල් නිවාඩුව අවසන් වුනහම දෙමවුපියන් අපිව නේවාසිකාගාරයට භාර දෙනවා.. ඇත්තටම මට දකින්න ඇසුරු කරන්න ලැබුණ පිරිමි චරිත දෙක මගේ තාත්තයි අයියයි විතරයි. මට පිරිමි ළමයි හම්බවෙන්න තිබුණ අවස්ථා හරිම අඩුයි. ඒ නිසාම මට පාසල් වියේ ප්‍රේමයක් හෝ ප්‍රේමයකට ඇරයුමක් හෝ ලැබී නැහැ.

තාරුණ්‍යයට පය තියන දැරියක් විදිහට ආදරය ඉදිරියේ සෞම්‍ය නොවුන හිතක් ද ඔබට තිබුණේ?
පුංචි කාලේ ඉඳන්ම මගේ හීනය පැසිපන්දු ක්‍රීඩාවට. මාව එම ක්‍රීඩාවට සහභාගි නොවිය හැකි කුඩා වයසේ දී පවා මම පැසිපන්දුව තමයි සෙල්ලම් කළේ. මගේ පුහුණුකරු මාව හැදුවේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩිකාවක් කරනවා කියන තැන ඉඳන්. මගේ අරමුණ වුණෙත් ජාත්‍යන්තර මට්ටමේ පැසිපන්දු ක්‍රීඩිකාවක්වීමයි. එතන දී මගේ පුහුණුකරුගේ එක නීතියක් තමයි මම මේ ක්‍රීඩාව ඇතුළෙ දී ප්‍රේම සබඳතාවක් ඇති කර ගත්තොත් ඔයාට මේ ගමන යන්න බැහැ කියන එකයි.

චූලක්ෂි පවසන්නේ චූලක්ෂිගේ සොඳුරු යෞවනය පැසිපන්දුවට දන්දුන් බව ද?
මට ඕන වුණේ ලස්සන ගැහැණු ළමයෙක් වෙන්න නෙවෙයි ජාත්‍යන්තර මට්ටමේ පැසිපන්දු ක්‍රීඩිකාවක් වෙන්නයි. ඒ අරමුණ වෙනුවෙන් ආදරය කැප කරන්න මම දෙපාරක් හිතුවේ නැහැ. ඒ අනුව මම පෙම්වතියක් නොවුණට ජාතික තලයේ පැසිපන්දු ක්‍රීඩිකාවක් බවට පත්වුණා.

නමුත් යම් කලක ඔබ පැසිපන්දු ක්‍රීඩාවට සමු දෙනවා.?
මගේ අයියත් පැසිපන්දු ක්‍රීඩකයෙක්. ජීවිතය සඳහා වෘත්තියක් තෝර ගන්න තැනට එද්දී වෘත්තීය පැසිපන්දු ක්‍රීඩිකාවක් වෙනව ද නැද්ද කියන ප්‍රශ්නයේ දී මට මගේ පැසිපන්දු දිවිය නතර කරන්න සිදු වෙනවා. ඒ මගේ සොහොයුරාගේ ඉල්ලීමට. නමුත් කෙසේ හෝ මට ඒ වෙද්දී මගේ ජීවිතයේ ප්‍රථම ප්‍රේමය මුණ ගැහිලා තිබුණා.

ක්‍රීඩාවට සමුදුන්නට පස්සේද ප්‍රේථම ආදරය පිළිගන්නේ?
මම මේ ක්ෂේත්‍රයට ආවට පස්සේ ආදරය පිළි ගත්තා. ඔහුත් පැසිපන්දු ක්‍රීඩකයෙක්

අද වෙද්දී චූලක්ෂි පැසිපන්දු ක්‍රීඩාවට සමුදුන්ට පැසිපන්දු ප්‍රේමය සමග ද රැඳෙන්නේ ?
නැහැ. ඒ ආදර කතාව නතර වුණා. කාලයත් එකක් අපි දෙදෙනාගේ නොගැලපීම් මත අපි ඒ ආදර කතාවට සමුදෙනවා.

ජනප්‍රිය තරුවක් වී සිටින ඔබ අද පෙම් කරන්නේ තිරයේ දී පමණද?
ඔව් මම දැන් පෙම්වතියක්. හැබැයි එය ඒක පාර්ශ්වික ප්‍රේමයක්. මම කෙනකුට ආදරය කරනවා. මම දුරින් ඉඳන් ඔහුට පෙම් බඳිනවා. මම ඒ ආදරය ප්‍රකාශ කරලා නැහැ.

අද ඔහු නාඳුනන ඔබගේ පෙම් හිත හෙට දවසේ හඳුනාගනීවි කියලා ඔබ මග බලාන ඉන්නවද?
ඔහු දන්වා මම ආදරය කරන බව. නමුත් මම ආදරෙයි කියලා ඔහුට පවසලා නැහැ. මම බලනවා කොතරම් දුරට මගේ ආදරය මල්එල ගැන්වේවි ද කියලා. නමුත් ආදරයක් කිරීමට වඩා ඒක අයිතිකර ගැනීම කියන්නේ සංකීර්ණ දෙයක්නේ.

ඔබ සිටින්නේ අවිනිශ්චිත සිතුවිල්ලක් සමග නේද?
ඇත්තටම නැහැ. මම හිතන්නේ නැහැ මගේ හීනය හැබෑ වෙයි කියලා.

මේ ආදරය චූලක්ෂිට හමුවෙන්නේ කලාවෙන්ද?
කලාවෙන් කියනවට වඩා මට මේ සමාජයෙන් හඳුනා ගන්න ලැබුණ හොඳ ගතිගුණ තියෙන කෙනෙක් විදිහට හඳුන්වන්න කැමතියි.. ඔහු මගේ හිතවතෙක්. අපේ පවුලේ හිතවතෙක්

චූලක්ෂි, මේ හැම දෙයකම කෙළවර..?
මම දෛවයට ඉඩදීලා බලාගෙන ඉන්නවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here