හෙට දින නොඑන ගමන් යන ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌

0
23

හෙළ සිනමාවේ අසහාය මිනිසා ලෙස සම්භාවනාවට පාත්‍ර වූ ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට (02) සවස 4.00 ට කොළඹ නිදහස්‌ චතුරශ්‍ර පරිශ්‍රයේ දී සිදු කෙරේ.

දේශීය සිනමාවේ “නිධානය” ලෙස හැඳින් වූ ලෙස්‌ටර් අපේ සිනමාව 1956 දී ඉන්දීය රාමුවෙන් මුදාගත්තේ “රේඛාව” නිර්මාණය කරමිනි. ඒ ඔස්‌සේ දේශීය සිනමාවට රිදී රේඛාවක්‌ එක්‌කළ ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ සිනමාකරුවා එදා මෙදා තුර හැදූ චිත්‍රපට සියල්ල ප්‍රේක්‍ෂක, විචාරක පැසසුමට ලක්‌ විය.

“අම්මාවරුනි” 2006 දී ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ අධ්‍යක්‍ෂණය කළ අවසන් චිත්‍රපටය විය. මේ දිනවල තිරගතවන සිය ආදරණීය බිරිඳ සුමිත්‍රා පීරිස්‌ගේ වෛෂ්ණාවී චිත්‍රපටයේ කතා සංකල්පය ද ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ ය.

සිය අනූනව වැනි ජන්ම දිනය ඉකුත් 05 වැනි දා සැමරූ ඔහු පෞද්ගලික රෝහලක දී පසුගිය 29 අභාවප්‍රාප්ත විය.

ඔහුගේ දේහය ඔහු පදිංචිව සිටි ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මාවතේ (බම්බලපිටිය ඩික්‌මන් පාර) පිහිටි නිවසේ හෙට (බදාදා) පෙරවරු 10.00 දක්‌වා තැන්පත් කර තිබේ. ඉන්පසුව දේහය රැගත් පෙරහැර පෙරවරු 10.00 ට කොළඹ නිදහස්‌ චතුරශ්‍රයේ පිහිටි නිදහස්‌ මන්දිරය වෙත ගෙන යයි. පෙරවරු 11.00 සිට මධ්‍යහ්න 12 දක්‌වා පවුලේ ඥතීන්ට සහ කලාකරුවන්ට එහි දී දේහයට අවසන් ගෞරව දැක්‌වීම සඳහා අවස්‌ථාව සැලසේ.

මධ්‍යහ්න 12.00 සිට පස්‌වරු 03.00 දක්‌වා මහජන ගෞරවය සඳහා අවස්‌ථාව ලබාදෙන අතර පස්‌වරු 4.00 ට බෞද්ධ ආගමික වතාවත් සිදු කෙරේ. ඉන්පසු ජනාධිපති, අගමැති ඇතුළු ගිහි ශෝක ප්‍රකාශ ඉදිරිපත් කෙරෙන අතර අවසානයේ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් විසින් ආශීර්වාදාත්මක දේශනය පවත්වනු ලබයි.

පසුව දේහය සහිත චිතකයට ගිනි දැල්වීම සිදුකෙරේ. නිදහස්‌ චතුරශ්‍රය වෙත ගෙන යන අතරතුර දී ජාතික චිත්‍රපට සංස්‌ථාව ඉදිරිපිට දී කලාකරුවන් දේහය භාරගෙන නිදහස්‌ මන්දිරය වෙත ගෙන යාම සිදු කරයි.

එබැවින් සියලු කලාකරුවනට හෙට පෙරවරු 10.00 ට ජාතික චිත්‍රපට සංස්‌ථාව ඉදිරිපසට පැමිණෙන ලෙස සංවිධායක කමිටුව දැනුම්දී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here