මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිටින බව ඉන්ටර්පෝල් දැනුම් දුන් බව නීතිපති උසාවියට කියයි

0
6

ශ්‍රී ලංකාවට අවශ්‍ය සැකකරුවකුවන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ රැඳී සිටින බව ජාත්‍යන්තර පොලිසිය විසින් ශ්‍රී ලංකාවට නිල වශයෙන් දැනුම් දී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්නයට දැනුම් දුන්නේ ය.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමුවන සැකකරු ලෙස නම්කර ඇති හිටපු මහ බැංකු අධිපතිවරයා ශ්‍රී ලංකාවට උධර්පනය කර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය පියවර තම දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇතැයි ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ එහිදී දැනුම් දී ඇත.

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමට අනුබද්ධිත වොල්ට්‌ ඇන්ඩ් රෝ” සමාගම විසින් එක්‌තරා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට රුපියල් ලක්‍ෂ 10ක මුදල් චෙක්‌පතක්‌ ලබා දී ඇති බවත් එම මන්ත්‍රීවරයාගේ ආරක්‍ෂක පොලිස්‌ නිලධාරියා විසින් එය මාරුකර මන්ත්‍රීවරයාට ලබා දී ඇති බවට සාක්‍ෂි ලැබී ඇති බවත් යසන්ත කෝදාගොඩ එහි දී අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගම විසින් නිකුත් කළ රුපියල් ලක්‍ෂ 10ක මුදල් චෙක්‌පතක්‌ මාරු කළ එහි ප්‍රධාන නිලධාරියකු එක්‌තරා ප්‍රභූවරයකුට එම මුදල ලබාදුන් බවට ද සාක්‍ෂි ලැබී ඇතැයි ජනාධිපති නිතීඥ යසන්ත කෝදාගොඩ අධිකරණයට දැනුම් දුන්නේ ය.

එකී ප්‍රභූවරයා විසින් එම මුදල් ලබාගෙන ඇත්තේ එම සමාගම් භූමියේ නවතා තිබු කළු පැහැති රථයක සිටිය දී බවට සාක්‍ෂි ලැබී ඇතැයි ද යසන්ත කෝදාගොඩ එහි දී අධිකරණයට පැවසී ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික ගනුදෙනුකරුවකු ලෙස කටයුතු කර ඇති පර්පෙචුවෙල් සමාගම විසින් 2015 ජනවාරි 01 වැනිදා සිට 2018 පෙබරවාරි 02 වැනි දා දක්‌වා කාලය අතරතුර දී ද්විතීක වෙළෙඳ පොළේ සිදුකළ ගනුදෙනුවලට අදාළ සියලු පරිගණක දත්ත අඩංගු මෘදුකාංග අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට ද මහෙස්‌ත්‍රාත්වරිය එහි දී ලංකා පයිනෑන්ෂල් බියුරෝ නමැති සමාගමට නියෝග කළා ය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා අවශ්‍ය ඉතා වැදගත් ලේඛන තොගයක්‌ පර්පෙචුවෙල් ට්‍රෙෂරිස්‌ සමාගමට අයත් පාර්ක්‌ලන්ඩ් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයක ඇති බැවින් ඒවා ලබාදීමට නියෝගයක්‌ කරන ලෙස ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ලබන 26 වැනිදා පෙරවරු 09.30 ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට එම ලේඛන භාරදීමට පියවර ගන්නා ලෙස පර්පෙචුවෙල් සමාගමේ සභාපති වන ජෙරි ජෝශප් ඇලෝසියස්‌ට මහෙස්‌ත්‍රාත්වරිය එහි දී නියෝග කළා ය.

ඉහත කී කරුණු අනුව පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවල දී අයුතු ලෙස උපයාගත් මුදල් තුන්වන පාර්ශවයකට ලබා දී ඇති බව පෙනී යන්නේ යැයි ද එහි දී අධිකරණයට පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සර්ටික්‌ ලංකා කුරියර් සේවාව මගින් පසුගිය 2015 ජනවාරි 01 වැනි දා සිට 2018 පෙබරවාරි 02 වැනි දා දක්‌වා සිදුකර ඇති සේවාවන් සම්බන්ධයෙන් සවිස්‌තර වාර්තාවක්‌ ලබාදෙන ලෙස නියෝගයක්‌ නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

විවිධ පුද්ගලයන් හා සමාගම් විසින් නිකුත් කරන ලද චෙක්‌පත් ඔවුන් නම් කරන ආයතන හා පුද්ගලයන් වෙත භාරදීම එම කුරියර් සේවා සමාගම මගින් සිදු කරන බව පෙන්වා දෙමින් කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්‌ත්‍රාත්වරිය එකී තොරතුරු ලබාදෙන ලෙසට නියෝගයක්‌ නිකුත් කළා ය.

විමර්ශන නිලධාරීන් විසින් තම සමාගම විසින් සිදුකරන ලද ගනුදෙනුවලට අදාළ ඕනෑම ලේඛනයක්‌ භාරදීමට එකඟවන බව එහි දී ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කෝලිත ධර්මවර්ධන අධිකරණයට පැවසී ය.

සිය සේවාදායක සමාගම අසීරු කාලයක්‌ තුළ ව්‍යාපාරික කටයුතු කරන බැවින් මානුෂික අන්දමින් විමර්ශන සිදු කරන ලෙස විමර්ශන නිලධාරින්ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසී ය.

එම නඩුවේ දෙවන සැකකාර අර්ජුන් ඇලෝසියස්‌ හා සිවුවන සැකකාර කසුන් පලිසේන ලබන 07 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට ද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී නියෝග කළා ය.

රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්‌මිණි ගිරිහාගම මෙනවිය, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය සමඟ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ පැමිණිල්ල මෙහෙය වීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here