මෛත්‍රී,රනිල්,මහින්ද සමග හැඩවුණු සතියේ දේශපාලන කතා එකතුව

0
77
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ‍පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට ලංකාවෙන් පිටත්ව යාමට නියමිතව තිබුණේ අප්‍රේල් 14 වැනිදාය. අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමෙන් පසුව දේශපාලන කරළිය යම් ආකාරයක නිහඬ බවක් පෙන්වනු ඇතැයි අපේක්ෂා කළේය. අලුත් අවුරුදු දිනවල රටේ දේශපාලන එතරම් උණුසුම් මුහුණුවරක් නොගන්නේ අලුත් අවුරුද්දට බොහෝ දෙනා කොළඹ නොසිටින නිසාය. ඇතැම් මැති ඇමැතිවරු අලුත් අවුරුදු නිවාඩුව ගත කිරීමට විදේශ ගතවන නිසාත් ඇතැම් ඇමැතිවරු අලුත් අවුරුදු කාලයට නුවරඑළියේ ගත කිරීම නිසාත් වෙනදා අලුත් අවුරුදු කාලයට දේශපාලන ලෝකයේ කිසිදු වෙනසක් සිදු නොවන නමුත් මේ අවුරුද්දේ අලුත් අවුරුද්ද උණුසුම් මුහුණුවරක් ගත්තේය.
ඒ අලුත් අවුරුද්දට පෙර මෛත්‍රී ගත් දේශපාලන පියවරක් නිසාය. පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමේ ගැසට් නිවේදනය මෛත්‍රී නිකුත් කර තිබුණේ එක්වරමය. අගමැති රනිල් වික්‍රමසිංහ සමගත් සාකච්ඡා නොකර පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට ගත් පියවර ගැන ඇතැම් මැති ඇමැතිවරු දැනගෙන තිබුණේ ඒ ගැන ප්‍රවෘත්ති පළ වන විටය. මෛත්‍රී පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කළත් එම ගැසට් නිවේදනයේ අඩු පාඩු කිහිපයක් විය. පාර්ලිමේන්තුව මැයි 8 වැනිදා රැස්වන බව දක්වා තිබුණත් පාර්ලිමේන්තුව රැස්වන වේලාව එහි ඇතුළත් වී තිබුණේ නැත. පාර්ලිමේන්තුව කල් දමන විට හෝ වාර අවසාන කරන විට නැවත පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වේලාව නිශ්චිතව සටහන් කිරීම අනිවාර්ය වන නමුත් ගැසට් නිවේදනයේ වේලාව සටහන් නොවී තිබිම ගැන පාර්ලිමේන්තු මහ ‍ලේකම්වරයා අවධානය යොමු කර තිබුණේය. ඒ අනුව ජනාධිපති ‍ලේකම් කාර්යාලයෙන් දැනුම් දී තිබුණේ නැවත වරක් වේලාව සටහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන බවය.
මේ අතර ‍පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට ලන්ඩන් නුවර බලා පිටත්ව යාමට පෙර අලුත් අවුරුදු චාරිත්‍ර සඳහා මෛත්‍රීගේ නිල නිවස සූදානම් කර තිබුණි.
“අපි හැම පක්ෂයකම අය සම්බන්ධ කරගෙන අලුත් අවුරුද්ද සමරමු. එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන්ට වගේම දෙමළ ජාතික සන්ධානයේ අයටත් එන්න කියන්න” මෛත්‍රී සිය කාර්ය මණ්ඩලයට උපදෙස් දුන්නේය.
ඒ අනුව මෛත්‍රී අලුත් අවුරුද්ද සැමරුවේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරයෙක් වන ගයන්ත කරුණාතිලක සමගය. වෙනදාට කොළ පාට ඇඳුම් අඳින ගයන්ත මෛත්‍රී හමුවීමට පැමිණ තිබුණේ නිල් පැහැති ඇඳුමක් ඇඳගෙනය.
“කට්ටියම නිල් පාට ඇඳුම් ඇඳගෙනනේ ඉන්නේ” එතැන සිටි අයෙක් කීවේය.
“මේ පාර අලුත් අවුරුද්දට නිල් පාටනේ අඳින්න තියෙන්නේ. ඒ නිසා තමයි නිල් පාට අඳින්න වෙලා තියෙන්නේ” ගයන්ත කීවේ සිනාසෙමිනි.
නැකැත් චාරිත්‍ර ඉටු කිරීමට පැමිණ සිටි සියලුම මැති ඇමැතිවරු සමග අලුත් අවුරුද්දට ගනුදෙනු කිරීමටද මෛත්‍රී අමතක කළේ නැත.
 මෛත්‍රී – තෙරේසා හමුවට වුණ දේ 
අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අවසන් කළ මෛත්‍රී බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගියේ ‍පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමටය. අලුත් අවුරුද්දට හිස තෙල් ගෑමේ නැකැත යෙදී තිබුණේ මෛත්‍රී ලන්ඩන් නුවර සිටියදීය. ලංකාවේ නොසිටියත් හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කිරීමට මෛත්‍රී ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයට ගියේය. දීර්ඝ වේලාවක් එහි රැඳී සිටි මෛත්‍රී එහි තිබූ පුස්තකාලයට ගොස් එහි ඇති ‍පොත් පත් ගැන සොයා බැලුවේය.
මේ අතර රාජ්‍ය නායක සමුළුවේ විධායක සමුළුවට සහභාගි වීමට මෛත්‍රී පිටත්ව යන විට ඔහුට හමුවූයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිය. මෝදි සමග සුහද කතා බස් කරමින් පයින්ම මෛත්‍රී උත්සව ශාලාව වෙත ගියේය. ඒ අතරට දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාද එක්විය. විධායක සභාවේදී මෛත්‍රීගේ දකුණු පසින් අසුන්ගෙන සිටියේ දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාය. පසුගියදා පැවැති මැතිවරණයෙන් ඔහු ජයගෙන තිබූ අතර එයට මෛත්‍රී සුබ පැතුම් එක් කළේය.
මෛත්‍රී සහ බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණේ රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන අනෙකුත් සමුළු අතරවාරයේදීය. එහෙත් මේ දිනවල බ්‍රිතාන්‍ය දේශපාලනයේ ඇතිවී තිබෙන උණුසුම් තත්ත්වයන් නිසා හදිසියේම පාර්ලිමේන්තුව කැඳවීමට සිදුව තිබුණි. ඒ නිසා තෙරේසා මේට මෛත්‍රීගේ හමුව අවලංගු කර පාර්ලිමේන්තු යාමට සිදුව තිබුණේය.
රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන අතරවාරයේදී මෛත්‍රීට තෙරේසා මේ හමුවිය.
“ඔබතුමා එක්ක ද්වි පාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීමට මම හරිම කැමැත්තෙන් හිටියේ. ඒත් පාර්ලිමේන්තුවේ පැවැති හදිසි තත්ත්වය නිසා තමයි හමුවීමට නොහැකි වුණේ. ඒ ගැන මම කනගාටු වෙනවා” තෙරේසා මේ කියා තිබුණේය.
 ලන්ඩන් ගිය අය කළ දේ 
මෛත්‍රී ලන්ඩන් නුවර සිටි නිසා ලංකාවේ දේශපාලන කරළියේ සිදුවන වෙනස්කම් ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ලන්ඩන් බලා යාමට තීරණය කර තිබුණේ අලුත් අවුරුද්ද ලැබිමෙන් පසුවය. ඒ අනුව චන්දිම වීරක්කොඩි හිටපු ඇමැතිවරයාත්, ඩිලාන් පෙරේරා හිටපු රාජ්‍ය ඇමැතිවරයාත් ලන්ඩන් නුවර බලා පිටත්ව ගියහ.
ඔවුන් දෙදෙනා ලන්ඩන් ගොස් සිටි අතරවාරයේදී ලංකාවේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ම හමුවිය. ඒ ‍පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුවට සහභාගී වීමට ගොස් සිටි ව්‍යාපාරිකයන් විවිධ ව්‍යාපාරික සාකච්ඡාවලට සහභාගිවෙමින් ලන්ඩන් නුවර සිටීම නිසාය.
ඩිලාන් පෙරේරාගේ උපන්දිනය යෙදී තිබුණේද ඔහු ලන්ඩන් සිටි දිනවලමය.  ඒ අනුව ඔහු වෙනුවෙන් රාත්‍රී භොජන සංග්‍රහයක් සූදානම් කර තිබුණේ උපන්දින කේක් කැබැලි සමගය. චන්දිම ඇතුළු පිරිස කේක් කවද්දී උපන්දින සාදය සූදානම් කර තිබූ ව්‍යාපාරිකයාගේ බිරිඳ ඡායාරූප ගත්තාය. එම ඡායාරූප පළවුණේ ව්‍යාපාරිකයාගේ ෆේස් බුක් ගිණුමේය.
“දේශපාලන අදහස් මොකක් වුණත් අපේ මිත්‍ර ඇමැති ඩිලාන් පෙරේරාගේ උපන්දිනය ලන්ඩන්හිදී සමරමින්” යැයි කියමින් මෙම ඡායාරූප තමන්ගේ ෆේස් බුක් ගිණුමට ඇතුළත් කර තිබුණේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අලුත් අවුරුද්දට පෙර කාල්ටන් නිවස බලා පිටත්ව ගියේය. 2005 වසරේ සිට ඔහු අලුත් අවුරුද්ද සමරන්නේ කාල්ටන් නිවසේදීය. අලුත් අවුරුද්දට පෙර මහින්දගේ සුව දුක් විමසීමට පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් පැමිණියේ කද මළු බැඳගෙනය. මන්ත්‍රීවරු කැවිලි පෙට්ටි හිස උඩ තබාගෙන එන ආකාරය ඡායාරූප ගත කිරීමට මාධ්‍යවේදීන්ද ඒ වන විට කාල්ටන් නිවස වෙත පැමිණ තිබුණේ ඒ වන විටත් නෑගම් පැමිණීම ගැන මාධ්‍ය දැනුවත් කර තිබිම නිසාය. පවු‍ලේ අය සමග පැමිණි මන්ත්‍රීවරු පිළිගැනීමට ආවේ මහින්ද, ශිරන්ති රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂය.
අලුත් අවුරුද්දට කාල්ටන් නිවසට පැමිණි මන්ත්‍රීවරු වෙනුවෙන් අලුත් අවුරුදු උත්සවයක්ද සංවිධානය කර තිබුණි. පළාත් සභා මන්ත්‍රී සංසදය විසින් එය සංවිධානය කර තිබුණේය. වෙනත් අවුරුදු උත්සවවල සැඟවුණ අමුත්තා සෙවීමේ තරග තිබුණත් කාල්ටන් අවුරුදු උත්සවයේ තිබුණේ මහ බැංකු හොරා සෙවීමේ තරගයයි. කණාමුට්ටිය බිඳීම වෙනුවට මහ බැංකුව කැඩීමේ තරගය තිබුණි.
“මීළගට තිබෙන්නේ මහ බැංකු හොරා සෙවීමේ තරගයයි” අවුරුදු උත්සවයේ නිවේදන කටයුතු භාරගෙන සිටි සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයා කීවේය.
“එයා මේක ඇතුළේ නම් නෑ. එයා ඉන්නේ අරලියගහ මන්දිරයේ” නිවේදන කටයුතු අසා සිටි මහින්ද කීවේ මුහුණ ඇඹුල් කරගෙනය.
“ඒකනේ. මේක ඇතුළේ මහ බැංකු හොරා හොයලා හරියන්නේ නෑ” එතැන සිටි පළාත් සභා මන්ත්‍රීවරයෙක් කීවේ මුහුණට සිනාවක් නංවා ගනිමිනි.
කඹ ඇදීමේ තරගය වෙනුවට තිබුණේ අගමැතිට එරෙහි විශ්වාසභංගය ඇදීමේ තරගයයි. මන්ත්‍රීවරු දෙපිල බෙදී තිබුණේ දහසයේ කණ්ඩායම හා විසි දෙකේ කණ්ඩායම ලෙසය. විශ්වාසභංගයට පක්ෂවූ කණ්ඩායම හා විශ්වාසභංගයේදී ඡන්දය නොදුන් කණ්ඩායම එම කණ්ඩායම් දෙකෙන් සංකේතවත් විය.
අවුරුදු තරගවලින් ජයගත් අයට තෑගි බෙදාදුන්නේ මහින්ද සහ නාමල්ය. ජයග්‍රාහකයින්ට ලැබි තිබුණේද අමුතුම තෑගිය. මහ බැංකු හොරා සෙවීමේ තරගයෙන් ජයගත් මන්ත්‍රීවරයාට ලැබුණේ සෙල්ලම් ලැම්බෝගිනියකි. කඹ ඇදීමේ තරගයෙන් ජයගත් මන්ත්‍රීවරුන්ට සෙල්ලම් හෙලිකොප්ටරය බැගින් ලැබුණි.
“ඔය ඒ කා‍ලේ මම නුවරඑළියේ ගිහින් අශ්වයෝ පැදලා එන හෙලිකොප්ටරය” මහින්ද තෑගි බෙදද්දී නාමල් කීවේ සිනාසෙමිනි.
“එතකොට රත්තරං අශ්වයෝ කොහේද ඉන්නේ” එතැන සිටි අයෙක් ඇසුවේය.
“මේ තියෙන්නේ රත්තරං අශ්වයෝ”සම්පත් මන්ත්‍රීවරයා මහින්දට සෙල්ලම් අශ්වයෙක් පෙන්වූවේය.
“මේවා මෙහේ තියෙනවා කියලා එෆ්.සී.අයි.ඩී. එක මෙහේට පනීවිද දන්නේ නෑ”මහින්ද කීවේ සියලු දෙනාම සිනා ගන්වමිනි.
 මහින්දට ලැබුණ පැළය  
මහින්ද අලුත් අවුරුදු චාරිත්‍ර කළේ කාල්ටන් නිවසේය. මහින්ද සමග පවු‍ලේ සියලුදෙනාම එක්ව සිටි අතර රෝහිත රාජපක්ෂගේ පෙම්වතියද එහි පැමිණ සිටියේ අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමටය. අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කළ රෝහිතගේ පෙම්වතිය හා ශිරන්ති කාල්ටන් නිවසේ මැද මිදු‍ලේ තිබූ රබානක්ද වාදනය කළේ රබන් පද අල්ලමිනි. මහින්ද සෑම අවුරුද්දකම අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන අතරවාරයේදී ගේ අලෙවි කිරීමට එන හිතවතුන්ටද ආරාධනා කර තිබුණි.
මහින්ද පවු‍ලේ අය සමග වැඩ අල්ලා පැළයක්ද රෝපණය කළේය. අලුත් අවුරුද්දේ වත්තේ සිටුවීමට පැළයක් එවා තිබුණේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාය. ඔහු නා පැළයක් සහ නමිනං පැළයක් එවා තිබුණි. ඔහු ඒ බව තමන්ට හිතවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුටද කියා තිබුණි.
“මම ජනාධිපතිතුමාට අලුත් අවුරුද්දට හිටවන්න පැළ දෙකක් යැව්වානේ”බන්දුල කීවේය.
“බන්දුල මෛත්‍රී ජනාධිපතිතුමාට අවුරුද්දට හිටවන්න පැළත් යවලානේ”ඒ කතාවට තටු ලැබි තිබුණේ එලෙසින්ය.
“ඇත්තද ඇමැතිතුමා ජනාධිපතිතුමාට අලුත් අවුරුද්දට පැළයක් යැව්වා කියන්නේ”ඒ කතාව ඇසුණ මාධ්‍යවේදියෙක් බන්දුලගෙන් ඇසුවේය.
“මම ජනාධිපතිතුමාට පැළ දෙකක් යැව්වා. ජනාධිපතිතුමා කියලා කිව්වේ මහින්ද මහත්තයාට”බන්දුල කීවේ සිනාසෙමිනි.
 ප්‍රසන්න ‍පෝලිමේ 
අලුත් අවුරුදු චාරිත්‍ර අවසන්වීමෙන් පසුව මහින්දගේ නිවසට අතුරු සිදුරු නැතිව පිරිස් පැමිණියේ මහින්දට සුභ පැතීමටය. ගම්පහ දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද තමන්ගේ නිවෙස්වල අවුරුදු චාරිත්‍ර අවසන් කිරීමෙන් පසුව තංගල්‍ලේ කාල්ටන් නිවස බලා පැමිණියේය. ඒ වන විට තමන් හමුවීමට පැමිණි ජනතාවට මැදිව සිටි මහින්ද ඔවුන් සමග සුහද කතාබහක යෙදෙමින් සිටියේය. ගම්පහ සිට පැමිණි මන්ත්‍රීවරුන්ට පැයකට වඩා වැඩි කාලයක් මහින්ද එන තුරු බලා සිටියහ. ප්‍රසන්න රණතුංග, ඩුලිප් විජේසේකර, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර ඒ ආකාරයට මහින්ද එන තෙක් බලා සිටියහ.
“ප්‍රසන්නලා ඇවිත් ගොඩක් වෙලා නේද? මම මේ සෙනඟට කතා කර කර හිටියේ”යැයි කියමින් මහින්ද ප්‍රසන්නලා සිටි තැනට පැමිණියේය.
“කමක් නෑ සර්. සර් හැමෝටම කතා කරන්න ඕනනේ”ප්‍රසන්න කීවේය.
“සර්ට මෛත්‍රී පිල කතා කළේ නැද්ද”මහින්දගෙන් ඇසුවේ ප්‍රසන්නය.
“කවුද”මහින්ද ඇසුවේ ප්‍රසන්න කී දෙය තේරුම්ගත නොහැකිවය.
“ඇයි සර්. දැන් ශ්‍රී ලංකා එකේ කණ්ඩායම් තුනක් ඉන්නවානේ. එක කට්ටියක් අපි. ඒ කියන්නේ මහින්ද මහත්තයා එක්ක ඉන්න කට්ටිය. අනික් අය තමයි මෛත්‍රී පිල විදියට හිටියේ. දැන් මෛත්‍රී පිලත් දෙකට බෙදිලානේ. දයාසිරිලා ඇතුළු දහසය දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල. විශ්වාසභංගයේදී රනිල් ආරක්ෂා කරන්න හිටපු අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රනිල් පිල”ප්‍රසන්න පැහැදිලි කළේය.
“හරි නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්න ඕන මහජනතාවගේ පැත්තේ” මහින්ද කීය.
“ආණ්ඩුවේ ලගින අය රනිල්ට කඩේ යන එක සාමාන්‍ය දෙයක්නේ. ඒත් මේ විපක්ෂ නායකයා රනිල් ආරක්ෂා කරන්න ඡන්දය දුන්නානේ”ඒ වන විට එහි පැමිණ සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු කීවේ විපක්ෂනායක ධුරය ගැන විවේචන එල්ල කරමිනි.
“සම්බන්ධලා වැඩ කරන්නේ රනිල් ආරක්ෂා කරන්න. රනිල් රකින්න රනිල්ට පක්ෂව ඡන්දය දීපු සම්බන්ධන් කොහොමද විපක්ෂ නායකයා විදියට රෙද්දක් ඇඳගෙන ඉන්නේ. හරි නම් එයා ඉන්න ඕන ආණ්ඩුවේ කැබිනට් එකේ”ප්‍රසන්න කීවේය.
“සර්, මේ දහසය දෙනා මොනවද කරනවා කියලාද කියන්නේ”ඩුලිප් ඇසුවේය.
“මේ අය නම් මට කිව්වේ විපක්ෂයේ අසුන්ගන්නවා කියලයි. අපිත් එක්ක එකතුවෙන්න කියලා මම ඒ අයට කිව්වා. ඒත් තවම ඒ අය මේක ගැන තීන්දුවක් අරගන නෑ”මහින්ද තමන්ට ලැබුණ තොරතුරු අනාවරණය කළේය.
 බැසිල් අවුරුදු සැමරූ හැටි 
මහින්ද වෙනදාට කාල්ටන් නිවසේ අවුරුදු සැමරීමෙන් පසුව මැදමුලනට යන්නේ තමන්ගේ වැඩිමල් සොයුරු චමල් රාජපක්ෂට බුලත් දීමටය. එහෙත් මෙවර මහින්ද චමල් සොයා ගියේ නැත.
මේ අතර හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ අලුත් අවුරුදු දින කිහිපයේ රැඳී සිටියේ පාසිකුඩාහි සංචාරක හෝටලයකය. ඔහු හෝටලයේ සිටින බව ආරංචිවූ විට එම ප්‍රදේශයේ කිහිප දෙනෙක් පැමිණ සිටියහ.
අවුරුදු විවේකයෙන් පසුව බැසිල් කෙලින්ම ගියේ ‍පොළොන්නරුවටය. ගිරිත‍ලේ පිහිටි සිරිපාල ගම්ලත්ගේ නිවසටය. එදින රාත්‍රියේ ගම්ලත්ගේ මියගිය දියණියගේ තුන් මාසයේ පිංකම පැවැත්විණි. ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේනත් ඒ වන විට එහි පැමිණ සිටියේය. ඔහු බැසිල් සිටි තැනට පැමිණ දීර්ඝ වේලාවක් කතා කරමින් සිටියේය.
මෙම ධර්ම දේශනය පැවැත්වූයේ මාවරල්‍ලේ බද්දිය හිමියන්ය.
“මම සාමනේර හිමි නමක් විදියට කටයුතු කරන කාලයේදී රාජපක්ෂ පවු‍ලේ ඥාති ස්වාමීන් වහන්සේ නමකගේ ගුරුහරුකම් ලබාගෙන තියෙනවා”බද්දිය හිමියෝ බැසිල් දෙස බලමින් කීවේ ධර්ම දේශනය අතරවාරයේදීය.
 මහින්දානන්දගේ බෑගය 
සතොස හරහා කැරම් බෝඩ් ගෙන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණ
පවත්වන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට විරුද්ධවය. ඔහුට සඳුදා දිනයේදී ‍පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දුන්නේ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහාය. ඔහු පැමිණියේ ඉටි බෑගයක්ද රැගෙනය. ඇඳුම් කිහිපයක් දැමූ ඉටි බෑගය අතට ගෙන පැමිණියේ තමන් රක්ෂිත බන්ධනාගාරගත කරනු ඇතැයි කලින් තිබූ විශ්වාසය අනුවය.
අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කළේය. අධිකරණයේදී ඔහුට ඇප ලැබුණේය. එහෙත් ඇප ලබාගෙන අලුත් අවුරුද්දේ නිවසට යාමට ඔහුට හැකිවූයේ නැත. ඒ ඇප කොන්දේසියක් වූ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමට නොහැකිවීම නිසාය. විදේශ ගමන් බලපත්‍රය මහාධිකරණය භාරයේ ඇතැයි ඔහු දැනුම් දුන්නත් එය ඔප්පු කිරීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. ඒ අනුව ඔහුට එදින රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුවූ අතර පසුදා ඇප ලැබුණේ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පසුවය.
අගමැති රනිල් වික්‍රමසිංහ සාමාන්‍යයෙන් අලුත් අවුරුද්ද ගත කරන්නේ විදේශගතවය. නැතිනම් අලුත් අවුරුදු විවේකය සඳහා ඔහු නුවරඑළිය බලා පිටත්ව යයි. මෙවර අලුත් අවුරුදු විවේකය ගත කිරීමට රනිල් තෝරා ගත්තේ නුවරඑළියයි. තරමක විවේකයෙන් සිටි රනිල් කේ.කේ. පියදාස මන්ත්‍රීවරයා තමන් නැවතී සිටි අගමැති නිල නිවසට කැඳවා ගත්තේ අලුත් අවුරුදු චාරිත්‍ර අවසන් වීමෙන් පසුවය. ඒ නුවරඑළියේ සංවර්ධන කටයුතු ගැන සාකච්ඡා කිරීමටය. සංචාරක පුරවරයේ කටයුතු ගැන ඔවුන් දෙදෙනාම අවධානය යොමු කරන්න විය.
පසුව ග්‍රෑන්ඩ් හෝටලයේ සූපවේදීන් විසින් ගිනස් වාර්තාවක් සඳහා නුවරඑළිය අර්තාපල්වලින් නිර්මාණය කළ කේක් ගෙඩියක් කැපීමටද රනිල් එක්විය. පෞරාණික කඩුවකින් කේක් ගෙඩිය කැපීමට සිදුවිය. අනතුරුව ඔහු ගියේ නුවරටය. ඒ
ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා සමග දළදා මාලිගාවට යාමටත් මහ නායක හිමිවරු හමුවීමටත්ය.
අරලියග මන්දිරයේ අවුරුදු 
රනිල්ගේ අලුත් අවුරුදු කිරිබත් සංග්‍රහය බ්‍රහස්පතින්දා උදෑසන අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු මෙන්ම සංස්ථා සභාපතිවරු, ඉහළ නිලධාරීන් මෙන්ම එක්සත් ජාතික පක්ෂය සමග ගනුදෙනු කරන මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ද එයට එක්ව සිටියහ.
“සර් කැබිනට් එක සංශෝධනය කරන්නේ කොහොමද?” එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඇසුවේය.
“විද්‍යාත්මක පදනමක් මත අපි අමාත්‍යාංශවල විෂයන් බෙදනවා” රනිල් කීවේය.
“පසුපෙළ මන්ත්‍රීවරු ශක්තිමත් කරන්න. ‍‍‍ජ්‍යෙෂ්ඨ අයට තනතුරු දෙන්න. පක්ෂයේ ප්‍රතිසංස්කරණවලට අදාළව ඔබතුමා දුන්න කමිටු තුනේ වාර්තාව අනුව කටයුතු කරන්න. ඒවා කල් දාන්න එපා. ජනාධිපතිවරණයට තවත් අවුරුදු එකහමාරයි තියෙන්නේ. ජනතාවට සලකන්න. තරුණ පරපුරට රස්සා දීම වේගවත් කරමු. ඒ වගේම ආණ්ඩුවට දැවැන්ත ජනමාධ්‍ය මෙහෙයුමකුත් අවශ්‍යයි. අපි එකතුවෙලා වැඩ කරමු” චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් රනිල්ට කීවේය.
“ඔයාල එක මතයක ඉන්න එක වටිනවා. කමිටු තුනේ නිර්දේශ අනුවයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ වෙන්නේ. ඇමැතිකම්වලට පත් කරනකොට ජනාධිපතිතුමා එක්ක කතා කරලා වඩාත් හොඳම දේ කරනවා” රනිල් කීය.
“අපේ පක්ෂයේ තනතුරුවල වෙනසක් කරන්න ඕන. දක්ෂයින්ට අලුත් තැන් දෙන්න ඕන. අලුත් මහ‍ලේකම් කවුරු වුණත් බලතල අඩුවේවි. සභාපතිකමටත් අලුත් මූණක් දාන්න ඕන” රනිල් පක්ෂ ප්‍රතිසංස්කරණවලට අදාළ ඉඟියක් දුන්නේය.
 මුජිබර්ට තනතුරු 
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පසුගිය සතියේදී රැස්වූයේ නියෝජ්‍ය කථානායක ධුරයට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් යෝජනා කිරීම ගැන සාකච්ඡා කිරීමටය.
“අපි මේකට කොළඹ ඉන්න මන්ත්‍රීවරයෙක් යෝජනා කරමු” බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා යෝජනා කළේය.
“මුජිබර් රහුමාන් මේකට දාන්න අපි යෝජනා කරමු” තවත් මන්ත්‍රීවරයෙක් කීවේය. ඒ අනුව මුජිබර් රහුමාන් නියෝජ්‍ය කථානායක ධුරයට පත් කළ යුතු යැයි ලිපියක් ලියා රනිල්ට භාරදීමට යෝජනා විය. එයට මන්ත්‍රීවරු විසි හතර දෙනෙකුගේ අත්සන් ගත් අතර එම ලිපිය රැගෙන රනිල් හමුවීමට ගියේ බන්දුලාල් බණ්ඩාරිගොඩය.
“සර්, මුජිබර් කොළඹ ඉන්නේ. ඒ නිසා හැමදාම පාර්ලිමේන්තු එන්න පුළුවන්. ඒ වගේම හොඳට කතා කරන්න පුළුවන්. ඒ නිසා අපි එයාව නියෝජ්‍ය කථානායක ධුරයට යෝජනා කළා” බන්දුලාල් කීවේය.
මෙවැනි ලිපියක් භාරදුන් බව මුජිබර් දැනගත්තේ පසුවය. එහෙත් එවැනි තනතුරක් ගැනීමට ඔහු වැඩි කැමැත්තක් දක්වන්නේ නැත. ඉදිරියේදීත් මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරීම ඔහුගේ අපේක්ෂාවයි.
 දේශපාලන මණ්ඩලයේ ගැටුම් 
එක්සත් ජාතික පක්ෂයේ සිදුකළ යුතු වෙනස්කම් ගැන සාකච්ඡා කර තීරණ ගැනීමට පත් කළ දේශපාලන මණ්ඩලය බ්‍රහස්පතින්දා සවස රැස්විය. නවීන් දිසානායක, සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් එයට එක්ව සිටියහ. එහිදී වැඩි වශයෙන්ම සාකච්ඡාවට ලක්වූයේ මැයි දිනය ගැනය.
“මැයි දිනයට කලින් පක්ෂයේ සියලුම තනතුරු සඳහා පත් කිරීම් අවසන් කරන්න ඕන” එහිදී මන්ත්‍රීවරු එකඟත්වයකට පැමිණියහ.
“පක්ෂ නායකයාට අවශ්‍ය අයෙක් පක්ෂයේ සභාපතිවරයා ලෙස තෝරා ගැනීමට අවස්ථාව ලබාදෙන්න ඕන” යෝජනාවක් පැමිණියේය.
“අපි සාකච්ඡා කළේ මේ තනතුරු ප්‍රජාතන්ත්‍රවාදීව පත් කරන්න ඕන කියලයි. ඒනිසා  නායකයාට කැමැති විදියට තනතුරු පත් කරන්න බෑ” එම යෝජනාවට විරෝධයක් ආවේය.
“මොනවා වුණත් තිස් වැනිදාට කලින් සේරම තනතුරු දීලා අවසන් කරන්න ඕන. ඒ වගේම තමයි වගකීම් දෙන්න ඕන. එක එක තනතුරුවලට නිශ්චිත වගකීම් දෙන්න ඕන” මන්ත්‍රීවරු පැවැසූහ.
නවීන්-සජිත් ගැටුම 
මේ අතර පසුගිය දිනවල පළවූ මාධ්‍ය වාර්තා ගැනත් නවීන් වැඩි අවධානයකින් සිටියේය. විශේෂයෙන්ම පුවත්පත්වල පළවන වාර්තා ඔහුගේ දැඩි අවධානයට ලක්විය. බ්‍රහස්පතින්දා උදෑසනම දිනපතා පත්තර අතට ගත් නවීන්ගේ අවධානය එක් ලිපියකට යොමුවිය. පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනේදී සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා සහ නවීන් අතර ගැටුම් ඇති විය හැකි බව එම ලිපියෙන් කියා තිබුණි.
“මේක මහ බොරු අර්ථ දැක්වීමක්නේ. සජිත් සහ මම පක්ෂයට ආදරෙයි. අපි දෙන්නා බොහෝම සහයෝගයෙන් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීම් කරනවා. අපි පුද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරන්නේ නෑ” නවීන් කීවේ ඒ අවස්ථාවීෙදී ඔහුට දුරකථන ඇමතුමක් ලබාදුන් මාධ්‍යවේදියෙක්ටය.
 ගයන්තගේ අවුරුදු සැමරුම්  
අලුත් අවුරුද්ද වෙනුවෙන් සෑම අමාත්‍යාංශයකම අලුත් අවුරුදු කෑම මේස පසුගිය සතියේදීම සූදානම් කර තිබුණි. ඉඩම් අමාත්‍යාංශයේ අලුත් අවුරුදු කෑම මේසයට එක්වූ ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ගියේය. ඒ ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයේ අලුත් අවුරුදු කෑම මේසයට එක්වීමටය. එහිදී සියලු දෙනාටම අලුත් අවුරුදු තුටු පඬුරක් දීමට ගයන්ත අමතක කළේ නැත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here