මැලේෂියාවේ හිටපු අගමැති ඇප මත නිදහස්

0
3

Image result for Najeeb razak

මීට මාස දෙකකට ඉහතදී මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට එරෙහිව දූෂණ චෝදනා යටතේ නඩු පවරනු ලැබ තිබේ.

බදාදා අධිකරණයට ඉදිරිපත් කෙරුණු හිටපු අගමැතිවරයා, සාපරාධී විශ්වාසය කඩ කිරීමේ චෝදනා තුනකට සහ බලය අයුතු ලෙස යොදාගැනීමේ චෝදනාවට නිවැරදිකරු බව කියා සිටියේය.

ඉන් අනතුරුව ඔහු ඇප මත මුදා හැරිණ.

පසුගිය මැයි මාසයේ පැවැත්වූ මහ මැතිවරණයෙන් පරාජය වීමෙන් පසුව හිටපු අගමැති නජීබ් රසාක්ට (Najib Razak) එරෙහිව පරීක්ෂණ ආරම්භ කරන ලදී.

ඔහු විසින් පිහිටුවන ලද රාජ්‍ය අරමුදලකින් ඩොලර් මිලියන 700ක් ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. එම අරමුදලට ලැබුණු තවත් ඩොලර් බිලියන ගණනක් ගිණුම්වලට ඇතුළත් කර නොමැත.

හිටපු අගමැතිවරයා සහ ඔහුගේ බිරිඳ රොස්මා මැන්සෝ (Rosmah Mansor) සතුව තිබූ ඩොලර් මිලියන 273ක් පමණ වටිනා ආභරණ, අත්බෑග් සහ මුදල් ද පොලිසිය භාරයට ගෙන තිබේ.

ඒ අතර ඩොලර් මිලියන 1.6ක රන් සහ දියමන්ති මාලයක්, කුඩා ඔටුනු 14ක් සහ හර්මීස් (Hermes) වර්ගයේ අත්බෑග් 272 තිබී ඇත. මැලේසියානු ඉතිහාසය තුළ අත්අඩංගුවට ගත් විශාලතම වටිනාකමක් ඇති භාණ්ඩ තොගය මෙය වන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ආභරණ 12,000ක් තිබූ අතර, ඩොලර් මිලියන 1.6 ක රන් මාලය ඒ අතුරෙන් වඩාත්ම මිල අධික භාණ්ඩයයි
අත්අඩංගුවට ගනු ලැබූ භාණ්ඩ අතර ආභරණ 12,000ක් තිබූ අතර, ඩොලර් මිලියන 1.6 ක රන් මාලය ඒ අතුරෙන් වඩාත්ම මිල අධික භාණ්ඩයයි

දූෂණ විරෝධී බලධාරීන් විසින් අඟහරුවාදා (ජුලි 03) අත්අඩංගුවට ගැනුණු හිටපු අගමැතිවරයා රාත්‍රිය පුරා රඳවා ගැණින.

ඊට දිනකට ප්‍රථම ට්විටර් ජාලය ඔස්සේ මුදාහරින ලද වීඩියෝවක් මාර්ගයෙන් ජනතාව ඇමතූ හිටපු අගමැති නජීබ් රසාක්, තමන්ට එරෙහි සියලු චෝදනා සත්‍ය නොවන බැවින් මාධ්‍ය වාර්තා විශ්වාස නොකරන මෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඔහුට එරෙහිව එල්ල වී තිබෙන සෑම චෝදනාවකටම වසර විස්සක් දක්වා වූ සිරදඬුවමක් පැණවීමේ හැකියාව තිබේ.

නජිබ් රසාක්ට එරෙහිව නැගුණු දූෂණ චෝදනා ඔහුගේ මැතිවරණ පරාජයට ප්‍රධානතම හේතුවක් විය.

ඔහු එම චෝදනා සියල්ලක්ම ප්‍රතික්ෂේප කරන අතර, ඔහු බලයේ සිටියදී මැලේසියානු බලධාරීන් විසින් ඔහු එම චෝදනාවලින් නිදොස් කරන ලද නමුත් ඔහුට එරෙහිව වෙනත් රටවල ද තවමත් පරීක්ෂණ පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here