විශ්වාසභංගය රහස් ඡන්දයක් ද?අලුත්ම තත්වය මෙන්න

0
339

Related image

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව සඳහා රහස් ඡන්දයක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමුවී තිබේ.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීම සඳහා මේ වනවිට පාර්ලිමේන්තුවේත් ආණ්ඩුවෙත් විපක්ෂයේත් සැලකිය යුතු පිරිසක් කැමැත්ත පළකර තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ඉරිදා මව්බිම පුවත්පතට පවසා ඇත.

මීට අමතරව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙතුන් දෙනකුද විශ්වාසභංග යෝජනාවට සහාය පළකිරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බවද රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා සඳහන් කරයි.

පසුගිය සිකුරාදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අස්සන් කිරීම ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට අනුබල දීම, එය නැවැත්වීමට ක්‍රියා නොකිරීම, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පැන යෑමට ඉඩ ලබාදීම ඇතුළු කරුණු රැසක් මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර ඇති බවත් එහි පිටපත් මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට හා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් කොටසකට ලබාදී තිබෙන බවත් රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ද මෙම විශ්වාසභංග යෝජනාවට අස්සන් කිරීම සිකුරාදා දහවල් කාලයේදී ආරම්භ කළ බවත් එක්සත් ජාතික පක්ෂ්යේ මන්ත්‍රින්ගෙන් පිරිසක් මීට අස්සන් කිරීමට නියමිත බවත් රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා පැවැසීය.

අස්සන් 75ක් පමණ ලැබූ විට ලබන සතියේදී මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට භාරදෙන බවත් රංජිත් ද සොයිසා මහතා සඳහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here