ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරට තුළම නිෂ්පාදනය කරන බව සුව ඇමති කියයි

0
6

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ඉදිරියේ දී මෙහිම නිෂ්පාදනය කෙරෙන බවත් ඉදිරියේ දී පිටරටින් ආනයනය නොකරන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

එමෙන්ම පසුගිය දා ඖෂධ 48ක මිල අඩු කළ බවත් ඉදිරියේ දී ලංකාවට අවශ්‍ය සියලු ඖෂධ මෙරටේදීම නිපදවීමට කටයුතු කරන බවත් ඒ සඳහා ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා ස්ථාපිත කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

අද වනවිට හිඟයකින් තොරව සෑම දෙනාටම ඖෂධ ලබා ගැනීමට හැකි අතර මෙරට සෞඛ්‍ය නිදහස 100%ක් පවතින බවත් ඔහු පැවසී ය.

මීට අමතරව රජයේ රෝහල් මගින් අක්ෂි කාච මේ වනවිටත් නොමිලේ ලබාදෙන බවත් පැවසූ අමාත්‍යවරයා මුල් අවධියේ රෝගය හඳුනා ගැනීම සඳහා සුව දිවි මධ්‍යස්ථාන හා සුව නාරි මධ්‍යස්ථාන ආරම්භ කර ඇති බව ද සඳහන් කළේ ය.

අංග සම්පූර්ණ හදිසි අනතුරු ඒකක 24ක් මේ අවුරුද්ද අවසාන වනවිට රජයේ රෝහල්වල අරඹන බවත් ඉදිරියේ දී හදිසි රෝගීන් ගුවන් මගින් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට කටයුතු සලසන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

දුම් පානය අඩු කිරිම සඳහා සෑම පාසලක සිටම මීටර් 500ක් තුළ ඇති සියලුම සුරාසැල් තහනම් කරන බවත් ඉදිරියේදි තනි දුම්වැටි මිල දී ගැනීමට නොහැකි බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසී ය.

සෑම ග්‍රම නිලධාරි කොට්ඨාසයකටම කාය වර්ධන ආයතන පිහිටුවනු ලබන අතර එමගින් ජනතාවගේ සෞඛ්‍ය යහපත් තත්ත්වයක පවත්වා ගැනීමට හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

දැනට සිටින වෛද්‍යවරුන් ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා නව වෛද්‍ය පීඨ වයඹ සබරගමුව, මොරටුව, සහ කරාපිටියේ දැනට ඇති වෛද්‍ය පීඨයේ බඳවා ගැනිම පුළුල් කරන බවත් හෙදියන් ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා හෙද පීඨයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 20 වැනි දා කොළඹ දී විවෘත කරන බවත් සියලුම සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

ඉදිරියේ දී මුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයම පරිගණකරණය කරන අතර දේශීය වෛද්‍ය ක්‍රමවල නිවැරදි භාවය විශ්ලේෂණය කර දියුණු කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here