කිරිපිටි ගෙන්වීම නවත්වයි – වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් ඇතිවීමේ අවධානමක්

0
91

කිරිපිටි මිල වැඩි කිරීමට මෙතෙක් අවසර නොදීම නිසා කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කර ඇති බව කිරිපිටි සමාගම් ආරංචි මාර්ග පවසයි.

ඉකුත් සතියේ සිට කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කර ඇති බවත් ඒ හේතුවෙන් මේ මාසයේ අවසානයේ දී පමණ වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් ඇතිවීමට බොහෝදුරට ඉඩ ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම හා ඩොලරයේ අගය වැඩිවීම හේතුවෙන් තම සමාගම් පවත්වාගෙන යාමේදී සහ දැනට පවතින මිලට කිරිපිටි ලබාදීමේ දී දුෂ්කරතා හා ගැටලු මතු වී ඇතැයි පවසන සමාගම් කිරිපිටි කිලෝවක මිල රුපියල් 100කින් වැඩිකිරීමට අවසර ලබාදෙන ලෙස ජීවන වියදම් කමිටුවෙන් හා පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා ඇත.

දැනට වෙළෙඳපොළේ තිබෙන කිරිපිටි තොග සති දෙක තුනකට පමණ ප්‍රමාණවත් බව පෙන්වාදෙන කිරිපිටි සමාගම් කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කිරීම සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුවත් කර ඇතැයි ද වාර්තා වේ.

මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල අමෙරිකා ඩොලර් 3250 – 3350ක් වශයෙන් පවතින බවත් ලබන ජූනි මාසය වනවිට ඩොලර් 3400- 3500 දක්වා ඉහළ යන බව පෙන්වා දෙන සමාගම් අඩුම තරමින් කිරිපිටි කිලෝවක මිල රුපියල් 75 කින්වත් වැඩිකිරීමට ඉඩ දුනහොත් පාඩුව අවම කරගත හැකි බව ද කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here