දිනේෂ් චන්දිමාල් රසකැවිලි යොදා පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ල වෙයි

0
16

පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්ව සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බැවින් ඒ ගැන පරීක්ෂණයක් අද සවස බටහිර ඉන්දීය කොදෙව්හි දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය අවසාන වීමෙන් පසු දිනේෂ් චන්දිමාල්ට මෙම චෝදනා එල්ල විය.

පසුගිය සිකුරාදා (ජූනි 15) තරගයේ අවසන් සැසිවාරයේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සිය වම් සාක්කුවෙන් යම් රස කැවිලි ජාතියක් පිටතට ගෙන එය මුඛයේ දමා පසුව එය පන්දුවේ දවටා පන්දුව පළුදු කිරීමට උත්සාහ කළ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට චෝදනා ලැබී තිබේ.

මේ සම්බන්ධයෙන් වීඩියෝ සාක්ෂි ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. එම සාක්ෂි උපයෝගී කරගෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක ජවගල් ශ්‍රීනාත් ඉදිරියේ මෙම පරීක්ෂණය පැවැත්වෙනු ඇත.

මේ පරීක්ෂණයෙන් පසු ලබා දෙන තීන්දුවට අභියෝග කිරීමට ශ්‍රී ලංකා නායකයාට හැකි අතර, ඉන් අනතුරුව ස්වාධීන කොමසාරිස්වරයෙක් ඉදිරියේ තවත් පරීක්ෂණයක් පවත්වනු ලැබේ.යම් ගැට‍ළුවක් ඇත්නම් එය තරගය සිකුරාදා අවසන් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායමට දැනුම් නොදී සෙනෙසුරාදා දින තරගය ආරම්භයට විනාඩි දහයකට පමණ පෙර දැනුම්දීම ගැන ශ්‍රී ලංකා කණ්ඩායම සිය විරෝධය පළ කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රකාශකයෙකු පැවසුවේ දිනේෂ් චන්දිමාල් මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන නිසා බොහෝ දුරට මෙම පරීක්ෂණය ස්වාධීන පරීක්ෂණයක් දක්වා ගෙන යාමට ඉඩ ඇති බවය.

මෙම චෝදනාවට දිනේෂ් චන්දිමාල් වරදකරු වුවහොත් ඔහුට දඩ මුදලකට සහ ඇතැම් විට එක් ටෙස්ට් තරග තහනමකට යටත් වීමට සිදු වනු ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here