”මම හිතන්නේ නැහැ නිල් චිත්‍රපට බැලීම වාරණය කළ යුතුයි කියලා” – චමිලා පීරිස්

0
419

”නිරුවත කියන්නේ අපි නිරුවත් වුණාම දකින ශරීරයට”

”මම නම් මගේ දරුවට කියලා දීලා තියෙන්නේ එහෙමයි”

”ඒකෙ වෙනම ආශ්චර්යයක් නැහැ”

වසර 26ක් තිස්සේ වේදිකාවේ මෙන්ම ටෙලිනාට්‍ය සහ සිනමා මාධ්‍යයේද කටයුතු කරන චමිලා පීරිස්, මේ දිනවල වේදිකාගත වන ‘හැම්ලට්’, ‘සාදය මාරයි සල්ලි හමාරයි’ ආදී වේදිකා නාට්‍යවල මෙන්ම ‘සහෝදරයා’ ටෙලිනාට්‍යයේ ද කැපී පෙනෙන චරිතයක් නිරූපණය කළ ප්‍රවීණ ශිල්පිනියකි. ඇය තවමත් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වන ‘සහෝදරයා’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයාවන සම්මානනීය තිර රචක නාමල් ජයසිංහගේ බිරිඳයි. මේ ඇය සම්බන්ධයෙන් පුවත්පතක පළ වූ ලිපියක්….

කලාවම ජීවන විලාසය කරගත් ස්වාමිපුරුෂයකු සමගින් ජීවත් වීමේ අත්දැකීම කොහොමද දකින්නේ?
මම ඒකට කැමති කෙනෙක්. ඒක මම ඔහුව දැක්ක කාලෙ ඉඳන්ම තිබුණු දෙයක්. අනික මගේ ජීවිතෙත් ඒ වගේ. කලාවයි, පෞද්ගලික ජීවිතෙයි කියල දෙකක් මට නැහැ. ඒත් නිර්මාණකරණය තුළ යෙදෙන දර්ශනයට වඩා පරස්පර දර්ශනයක තමන්ගේ ජීවිතය ගෙන යන කෙනෙකුට නම් හිතන්න පුළුවන් මේක ඉතා අමාරු කටයුත්තක් කියලා. හැබැයි මට එහෙම නැහැ. මම ඔහුගේ ඒ ගතියට ආදරය කරපු කෙනෙක්.

ඒ කියන්නේ රූපණ ශිල්පිනියක් විදිහට ඔබ මෙතෙක් ආ ගමන ගැන සතුටුයි?
ඔව්. මම දන්නවා මට යමක් කරන්න පුළුවන් කියලා. මගේ පරාසය ගැන අනික් අය කියනවා වගේම මමත් අඳුනගෙන තියෙනවා. විශේෂයෙන් මට වේදිකාව තුළ හොඳ චරිත ලැබිලා තියෙනවා. මම දන්නවා ඒ නිසා මට තවදුරටත් වැඩ කරන්න පුළුවන් කියලා. ආපසු හැරිල බැලුවත් මම යෙදුණු කටයුතු ගැන මට හුඟක් සතුටුයි.

‘කලාව’ වෙනුවෙන් පාලනතන්ත්‍ර තුළ ලබාදුන් ස්ථානය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන් ද?
බැහැ. ඉතාම පහළ ස්ථානයක් තමයි එදා සිටම ඔවුන් කලාව වෙනුවෙන් ලබාදුන්නේ. එවැනි පිරිසකට තමයි අපි එදා සිටම බලය දුන්නෙත්. අනික තාමත් අපට රූපණය හැදෑරීමට පවා නිශ්චිත ස්ථානයක් නැහැ. වේදිකා රූපණයේ අභ්‍යාස සඳහා වේදිකාවක් හෝ පැවතුණත් තිර රූපණය සඳහා තාමත් එවැනි නිශ්චිත අභ්‍යාසගත අවකාශයක් නැහැ. ඒ නිසා උගන්වන්න දන්න මිනිස්සුත් අඩුයි.

ඒත් ගෝලීය සමාජයක ජීවත්වන අපට එදාට වඩා තාක්ෂණයෙන් අනූන විශ්වවිද්‍යාල පද්ධතියක් අද තියෙනවා?
මං හිතන්නේ නැහැ ඒ තුළ දියුණු සාර්ථක වැඩපිළිවෙළක් තියෙනවා කියල. මම කිව්වේ නාට්‍ය කලාවට සාපේක්ෂව. මං හිතන්නේ නැහැ විශ්වවිද්‍යාලවල සාර්ථක විෂය පද්ධතියක්, සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා කියලා. අනික කොතරම් හොඳ ගුරුවරුන් ඒ ස්ථානවලට ගියත්, ‍කොයිතරම් උත්සාහ කළත් වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ සියල්ලම පාලනය වෙන්නේ රාජ්‍ය පාලන පද්ධතියක් ඇතු‍ළේ. අනික සමහරු නාට්‍ය හා රංග කලාව වගේ කලා උපාධි කරන්නේ වෙන මුකුත් බැරි හින්දා. සමහරු ප්‍රසිද්ධ වෙන්න පුළුවන් කියල හිතාගෙන කරනවා. ඒත් හුඟක් දෙනෙක් නාට්‍ය හා රංග කලාව විෂය හදාරන්නේ රැකියාවක් විදිහට ගුරු වෘත්තියේ යෙදෙන්න බලාගෙන. සියයට 95කට වඩා ඉන්නේ එහෙම පිරිසක්. සරච්චන්ද්‍ර යුගයේ දී විශ්වවිද්‍යාලයට විද්‍යාර්ථයන් ආවේ ඔවැනි අරමුණු ඇතුව නෙමෙයි. ඔවුන්ට ඒ වෙද්දිත් ලෝක සාහිත්‍යයේ ඇසුර ලැබුණා. නාට්‍යකරණයේ ඔවුන් යෙ‍දිලා හිටියා.‍ හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබුණා. දියුණු වාමාංශික අදහස් දැරුවා. ඒ නිසයි දියුණු විශ්වවිද්‍යාල සංස්කෘතියක් ඒ කාලේ නිර්මාණය වෙලා තිබුණේ.

කලාවට අවශ්‍ය කරන්නේ රාජ්‍ය මැදිහත්වීමක් ද? නිදහසේ ගලා යාමක්ද?
මැදිහත් වීමක් අවශ්‍යයි. මොකද ලබාදුන් නිදහස වල්බූරු නිදහසක් විදිහට භාවිත කරන්න ඉඩ දෙන්න බැහැ. උදාහරණයක් විදිහට විදෙස් ටෙලිනාට්‍යය ආනයනය කිරීම සීමා කිරීමට රාජ්‍ය මැදිහත් විය යුතුයි. හැබැයි එතැන දි ඊට දායකවන දේශීය කලාකරුවන් අසාධාරණයකට ලක් කළ යුතුයි කියල මම කියන්නේ නැහැ. එක් නාළිකාවකට එක් විදෙස් ටෙලිනාට්‍යයක් පමණක් ආනයනය කළ හැකි ආකාරයේ මැදිහත් වීමක් රාජ්‍ය මට්ටමෙන් සිදුවිය යුතුයි. එතැන දි ඒවායේ තේමාවලින් ප්‍රේක්ෂකයාට වෙන හානිය ගැනත් සොයා බලා ආනයනය කිරීමට අවසර ලබාදෙන්න පුළුවන් නම් තමයි එය වඩාත් වටින්නේ. එවිටයි ඒ මැදිහත් වීම සාධාරණ වෙන්නේ.

කෙසේනමුත් දියුණු සන්නිවේදන ලෝකයක ජීවත්වන අපට කුඩා දරුවෙක් නරඹන නිල් චිත්‍රපටයක් පවා වාරණය කිරීම අසීරුයි?
නිරුවත කියන්නේ අපි නිරුවත් වුණාම දකින ශරීරයට. මම නම් මගේ දරුවට කියලා දීලා තියෙන්නේ එහෙමයි. ඒකෙ වෙනම ආශ්චර්යයක් නැහැ. සොබාදහම මනුෂ්‍යයා නිර්මාණය කිරීමේ දී ගොඩනගන ලද අවයව තමයි එතැන තියෙන්නේ. ඒ නිසා මෙතැන තියෙන්නේ ලංකාවේ දියුණු ලිංගික අධ්‍යාපනයක් නොමැතිකමේ ගැටලුවක්. ඒ නිසා මම නම් ඒ අධ්‍යාපනය මගේ දරුවට දීලයි තියෙන්නේ. අනික මිනිස්සු කොහොමත් සාමාන්‍ය ජීවිතේ තමන් කරන දේම ‍අනෙකා කරනවා දකින්න ආසයි. ඒක සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය. ඒ රූපගත කරන මැජික් එකට අපි කැමැති ඒකයි. සිනමාවට අපි එච්චර ආදරය කරන්නෙත් ඒ මැජික් එක නිසා. අනික මම හිතන්නේ නැහැ නිල් චිත්‍රපට බැලීම වාරණය කළ යුතුයි කියලා. මොකද ඒක වෙන රසයක්. වෙන ඇබ්බැහියක්. ඔවුන් හොඳ නිර්මාණ රසවිඳින්නේ නැහැ කියල ඒකෙන් කියන්න බැහැ. ඒ නිසා ලිංගිකත්වයට වඩා වෛරය, ක්‍රෝධය, සිය දිවි නසා ගැනීම වැනි දේ එන්නත් කරන නිර්මාණ සමාජගත කිරීම තමයි අතිශයින් භයානක. ඒ නිසයි පසුගිය කාලයේ සිය දිවි නසා ගැනීම් වැනි සිදුවීම් ඉහළ ගියේ. ඒ නිසයි මම කියූ වාරණය අවශ්‍ය වෙන්නෙත්.

ඒ කියන්නේ දියුණු සංස්කෘතික මිනිසෙක් නිර්මාණය කිරීමේ වගකීමත් කරපිට පැටවෙන්නේ කලාකරුවාගේ ද?
අනිවාර්යයෙන්. කලාව නැතුව කිසිම රටක් දියුණු වෙන්නේ නැහැ කියන්නේ ඒකයි. සංස්කෘතිකමය වශයෙන්, ආර්ථිකමය වශයෙන් රටක් දියුණු කරන්න නම් පළමුව මනුෂ්‍යාගේ පරිකල්පනය දියුණු කළ යුත්තේ ඒ නිසයි. මොකද සංස්කෘතික මිනිසෙක් කියල කියන්නේ අනෙකා ගැන හිතන, හොඳ පරිශීලනයක් තියෙන, බුද්ධිමත්ව හිතන, ඉදිරි අනාගතයක් ගැන හිතන, පරිසරය ගැන හිතන, ඉදිරි පරම්පරාව ගැන හිතන කෙනෙක්ට. ඒ හින්දයි රටක අවධානය ඒ කරා යොමු විය යුත්තේ. ඒ නිසා අවුරුදු 25කට එහා සංවර්ධනයක් ගැන හිතලා දැන් නිශ්චිත ක්‍රමයකට දරුවෝ ටික හැදුවොත්, තව අවුරුදු 25කින්, 50කින් අපට හොඳ පරම්පරාවක් නිර්මාණයක කරගන්න පුළුවන්. මේ ක්‍රමය කණපිට පෙරළන්න පුළුවන්.

‘සහෝදරයා’ ටෙලිනාට්‍යය තුළින් ටෙලිනාට්‍ය කලාව සිනමාත්මක කිරීමේ උත්සාහයක් නේද දැරුවේ?
මීට කලින් අපිට එවැනි දියුණු ටෙලිනාට්‍ය සංස්කෘතියක් තිබුණා. එවැනි ටෙලිනාට්‍ය නැරඹීමේ පුරුද්දක් බොහෝ දෙනෙකුට නොතිබීම නිසයි බොහෝ දෙනෙක්ට මේ පිළිවෙළ අලුත් අත්දැකීමක් වෙන්නේ. මොකද සිනමාවෙත් දැන් එවැනි සිනමාත්මක පිළිවෙළක් බො‍හෝ වෙලාවට නැහැ. ඒ නිසා මෙවැනි සිනමාත්මක ටෙලිනාට්‍ය නිර්මාණය කිරීමේ වරදක් තියෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ.

ඒ කියන්නේ වත්මන් ටෙලිනාට්‍ය සංස්කෘතිය තුළ රූපණ ශිල්පීන්ට සිදුවෙලා තියෙන්නේ ඉඩ පිරවීමක්ද?
ඔව්. එහෙම තත්ත්වයක් තියෙනවා. ඒත් මම ඒකට දෝෂාරෝපණ නගන්නේ නැහැ. මොකද මම පවතින ක්‍රමය තේරුම් අරන් ඉන්න කෙනෙක්. ඒ නිසා මම දන්නවා මේක තනි පුද්ගලයෙකුට වෙනස් කරන්න බැහැ කියලා. අනික හොඳම නිර්මාණයක් එනකම් මම රූපණයේ නොයෙදී හිටියොත් සමහරවිට මට කවදාවත් නිර්මාණයක් නොලැබෙන්න වුණත් පුළුවන්. ඒ නිසා මට ලැබෙන චරිතය වඩා හොඳින් කිරීමෙන් තමයි මම සතුටු වෙන්නේ. ඒකෙන් තමයි මම මාව පරීක්ෂා කර ගන්නේ. මොකද මට කාත් එක්කවත් තරගයක් නැහැ. අරගලය තියෙන්නේ මං එක්ක විතරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here