හමුදා බුද්ධි රහස්‌ හෙළි කිරීමේ සූදානමක්‌

0
6

එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ට එරෙහි යුද්ධය පැවති සමයේ සහ ඉන් පසුව රහසිගත මෙහෙයුම් සඳහා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන් රැඳී සිටි ආරක්‍ෂිත නිවාස මෙන්ම භාවිත කළ රථවාහන පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කිරීමට තීරණය වී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආරක්‍ෂක මණ්‌ඩල රැස්‌වීම පැවැත්වෙන අවස්‌ථාවල දී පොලිසියෙන් සිදු කෙරුණු කරුණු දැක්‌වීම් අනුව මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව ඇතැම් හමුදා ප්‍රධානීන් පවසන්නේ මෙසේ බුද්ධි අංශ තොරතුරු හෙළි කිරීමට තීරණයවීම මෙතෙක්‌ ලොව කිසිදු රටක සිදුව නැති ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කිසිසේත් සිදු නොකළ යුතු අතිශය සංවේදී ක්‍රියාවක්‌ බවයි.

යුද හමුදා බුද්ධි අංශ පිළිබඳ ආරම්භ වී තිබෙන විමර්ශනවලට අනුව මෙසේ බුද්ධි තොරතුරු අනාවරණය කිරීමේ තීරණයට එළැඹ ඇතැයි ද කියයි.

යුද සමයේ දී සහ ඉන් පසුව එල්ටීටීඊය නැවත ප්‍රතිසංවිධානයවීම වැළැක්‌වීම මෙන්ම පාතාලයට හා කුඩු ජාවාරමට එරෙහිව ඉකුත් කාලයේ සිදු කෙරුණු මෙහෙයුම්වල ස්‌වභාවය අනුව රටපුරා විවිධ ප්‍රදේශවල ආරක්‍ෂිත නිවාස භාවිත කරමින් උපක්‍රමශීලීව රැඳී සිටීමට බුද්ධි නිලධාරීන් කටයුතු කර තිබිණි.

මේ අන්දමට එම රහස්‌ තොරතුරු අනාවරණය වුවහොත් ඉදිරියේ දී සමස්‌ත හමුදා බුද්ධි අංශ බරපතළ කඩා වැටීමකට ලක්‌වීම වැළැක්‌විය නොහැකිවනු ඇතැයි ද හමුදා ප්‍රධානීන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගෙන් කළ විමසීමක දී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව යුද හමුදා බුද්ධි නිලධාරීන් රැඳී සිටි මල්වාන ප්‍රදේශයේ ආරක්‍ෂිත නිවස්‌නයක තොරතුරු ලබාදෙන ලෙස දැනට ඉල්ලීමක්‌ කර තිබෙන බව පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here