”අනුරාධා ටිකක් විශේෂයි” – පැතුම් රුක්ෂාන් අනුරාධා ගැන කියයි

0
15

”අපි දෙන්නම ඉන්නේ අතුරුගිරියේ”

”එයා ඒ දේට ගොඩක් ඇබ්බැහි වෙලා ඉන්නේ”

”කන්න නම් මාර පෙරේතයි”

”මගෙන් මාර විදිහට බැණුම් අහලා තියෙනවා”

අනුරාධා එදිරිසිංහ සහ පැතුම් රුක්ෂාන් මේ දිනවල හිරු ටීවී නාලිකාවෙන් විකාශයවන හිරු මෙගාස්ටාර්ස් වැඩසටහන තුළින් තමන්ගේ දක්ෂතාවන් ඉදිරිපත් කරන දක්ෂා රැසකින් පරිපූර්ණ ජනප්‍රිය තරු යුගලක්. හිරු මෙගාස්ටාර්ස් වැඩසටහන නිසා බොහෝ සමීපව කටයුතු කරන මේ දෙන්නා ගැන බොහෝ ප්‍රේක්ෂකයින් කතා බහ කරනවා. ඉතින් ඔවුන් දෙදෙනා තමන් අතර තියෙන සමීප සම්බන්ධය ගැන සති අන්ත පුවත්පතක් සමග අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.

අනුරාධා එදිරිසිංහ

පැතුම් මොන වගේ යාළුවෙක් ද?
ඇත්තටම පැතුම් අයියා යාළුවෙකුටත් වඩා මට හොඳ සහෝදරයෙක් වගෙයි. එයා හම්බුණ මුල්ම දවසෙත් මුල්ම දවස කියලා බලන්නේ නැතුව හොඳට මාත් එක්ක කතා කළා. එයා හැමවෙලේම නංගි කෙනෙක් බලා ගන්න අයියා කෙනෙක් වගේ මාව බලා ගන්නවා.

දෙන්නා රණ්ඩු එහෙම වෙන්නෙ නැද්ද?
සමහර වෙලාවට අපි දෙන්නා රණ්ඩුත් වෙනවා. තරහ වෙනවා. හැබැයි අපේ යාළුකම නිසා ඒ තරහා වැඩි වෙලාවක් තියාගන්න බැහැ. එක්කො මම හරි පැතුම් අයියා හරි ඇවිත් කතා කරනවා.

පැතුම්ට කේන්ති යනවද?
මාත් එක්ක නම් ලොකුවට කේන්ති ගන්නේ නැහැ. හැබැයි ඉතින් සමහර වෙලාවට දෙයක් කියද්දී සැර කරලා කියන වෙලාවලුත් තියෙනවා. අයියලාට ඉතින් නංගිලා නිසා කේන්ති යන නිසා මට එච්චර ගාණකුත් නැහැ.

දෙන්නා ළඟපාතක ඉන්න නිසා හමුවෙන්නත් ලේසියි නේද?
අපි දෙන්නම ඉන්නේ අතුරුගිරියේ. ටිකක් ළඟයි. නර්තන තරගයට වුණත් යන්නේ පැතුම් අයියා එක්ක. පැතුම් අයියා විනෝදයට හරි බර කෙනෙක්. හරිම සැහැල්ලුවෙන් ජීවිතේ විඳින කෙනෙක් විදිහටයි මම පැතුම් අයියව දකින්නේ.

පැතුම් හරි අපූරුවට අඳින පළඳින කෙනෙක් නේද?
එයා විලාසිතාවලට ඇබ්බැහිවෙලා වගෙයි. හරි ලස්සනට, පිළිවලට අඳින්න පළඳින්න එයා හරි කැමතියි. ගැලපෙන විදිහට අඳින්න කියලා සමහර වෙලාවට මටත් බණිනවා.

පැතුම් මොනවට ද වැඩිපුරම කැමති?
අම්මෝ වෙන කිසිම දේකට එයා කැමති නෑ. කන්න නම් මාර පෙරේතයි.

පැතුම් වගේ යාළුවෙක් මුණගැහුණු එක ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් හොඳයි. රණ්ඩු වෙන්න, යාළුවෙන්න හැමදේටම ඉන්නේ පැතුම් අයියා විතරයි. පැතුම් අනුරාධා මුලින්ම මුණ ගැහුණෙ කොහොම ද? රූපවාහිනී වැඩසටහනක දී තමයි මුලින්ම මුණ ගැහුනෙ. ඊට පස්සේ වෙඩින්වල දී, පාටිවලදී මුණ ගැහුණා. ඒවාවල දී ඩාන්ස් කළා. කතා කළා. ඔය අතරෙදි තමයි රියැලිටි වැඩසටහනකට අපිට එන්න කිව්වේ.

පැතුම් රුක්ෂාන්

අනුරාධා මොනවගේ කෙනෙක් ද?
එයා හරිම අවංක කෙනෙක්. අනුරාධා කියන්නේ වාසියට යාළුවන් ව ආශ්‍රය කරන කෙනෙක් නෙමෙයි. මම හිතන පතන විදිහටත් එයා බොහොම සමීපයි. කියන දේ කෙලින් කියන කෙනෙක්.

අනුරාධට කේන්ති යනවද?
කේන්ති යනවා හරිම අඩුයි. මගෙන් මාර විදිහට බැණුම් අහලා තියෙනවා. ඒත් කවදාවත් මට කෑ ගහලා බැණලා නැහැ.

අමතක නොවන සිදුවීම් වෙලා නැද්ද?
එයා හරියට ටියුබ් ලයිට් එකක් වගෙයි. මොන වැඩේ කළත් සමහර වෙලාවට හෙන ගොන් වැඩකුත් කරනවාමයි. අනුරාධා කියන දේවල් නිසා අපි හිනාවෙන්න බඩ අල්ලාගෙන.

අනුරාධාගේ විලාසිතා ගැන පැතුම් මොකද හිතන්නේ?
එයා අපේ ෆීල්ඩ් එකේ ඉන්න පොඩි ළමයෙක් නිසා එයාගෙ පෙනුමට ගැලපෙන්න එයා අඳිනවා. ළඟදි හෙයා කට් එකකුත් දාලා ආවා. කෙල්ල ලස්සනට අඳිනවා.

අනුරාධා ළඟ තියෙන ගතිගුණවලින් පැතුම් අකමැතිම ගතිගුණය මොකක්ද?
වෙනස් කරන්න කියලා දෙයක් නම් නෑ. අර ටියුබ් ලයිට් එකටත් මං ආසයි. අනුරාධා හරි හොඳයි. වැඩ පිළිවෙලයි. දෙයක් කරද්දී එයා ඒකට ගොඩක් කැපවෙනවා. එයා හරිම උනන්දුවෙන් වැඩ කරනවා. වැඩවලදිත් එයා හරි අවංකයි.

අනුරාධා වගේ යාළුවෙක් මුණගැහුණු එක ගැන මොකද හිතන්නේ?
හරිම සතුටුයි. මගෙ දේවල් කතා කරන්න ගෑනු යාළුවෙක් හිටියේ නෑ. ඒ යාළුවන් අතරේ අනුරාධා ටිකක් විශේෂයි. සමහරු අපි යාළු ද කියලත් අහනවා. හැබැයි අපි අතරේ එහෙම සම්බන්ධයක් නෑ. අපි දෙන්නා හොඳම යාළුවෝ. ඒ බැඳීම හරි විශේෂයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here