එළවළු සහ පළතුරු විජලනය කිරීමේ වැඩ පිළිවෙළක්

0
8

පළතුරු සහ එළවළු අස්වැන්න වැඩිපුර ලැබෙන කාලවල දී ඒවා අපතේ යාම වළක්වා කල් තබා ගැනීම සඳහා විජලනය කොට අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු කරගෙන යයි.

මේ සඳහා අවශ්‍ය විජලන යන්ත්‍ර කිහිපයක් දැනටමත් චීනයෙන් ගෙන්වා ඇති අතර ඉදිරියේ දී ජර්මනියෙන් ද එවැනි යන්ත්‍ර ගෙන්වා දිවයිනේ එළවළු සහ පළතුරු බහුලව වගා කෙරෙන ප්‍රදේශවල සවි කිරිමට කටයුතු කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.

එමෙන්ම “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ණය යෝජනා ක්‍රමය යටතේ මෙම විජලන යන්ත්‍ර ආනයනය කරන වගා කරුවන්ට සහන ණය ලබා දෙන බව ද කෘෂිකර්ම අමාත්‍යංශයේ අද ඊයේ (05) මාධ්‍ය හමුවක දී ඇමතිවරයා පැවසී ය.

ඉදිරියේ දී කෙසෙල්, පේර, අඹ, වරකා, පැපොල් ආදී පළතුරු වර්ග මෙන්ම සමහර එළවළු වර්ග ද විජලනය කර අලෙවි කිරීමේ ක්‍රමවේදයක් සකස් කරගෙන යන බවත් එළවළු සහ පළතුරු අපතේ යාම බොහෝදුරට මේ මගින් අඩු කර ගතහැකි බවත් ඔහු සඳහන් කළේ ය.

2017 වසරේ දී පිටරටින් ආනයනය කළ බඩඉරිගු සඳහා රුපියල් මිලියන 2227 ද ,මිදි ආනයනය සදහා රුපියල් මිලියන 2711ද ,කජු සදහා රුපියල් මිලියන 750ක්ද ,ඉගුරු සහ කහ සදහා රුපියල් මිලියන 1315ක්ද, කුරක්කන් සඳහා රුපියල් මිලියන 213ක්ද මී පැණි සඳහා රුපියල් මිලියන 431ක්ද වැය කොට ඇතැයි පැවසූ හෙතෙම ඉදිරියේ දී මේවා කළාප වශයෙන් මේ රටේ දී නිෂ්පාදනය කිරීමට කටයුතු යොදා ඇති බව ද කීය.

ඒ අනුව බිබිල ප්‍රදේශයේ පැණි දොඩම් කළාපයක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉඟුරු කළාපයක්, උතුරු පළාත මුල් කොට ගෙන මිදි කළාපයක්, අන්නාසි බහුලව වැවෙන ප්‍රදෙශ පදනම් කරගෙන අන්නාසි කළාපයක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරිගු කළාපයක් ද පිහිටවනු ඇති බව යාර්තා වේ.

මෙම කළාපවලින් ලබා ගන්නා අස්වැන්න අපනයනය කිරීමට පියවර ගන්නා බව ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here