”මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුවත් ලංකාවට සහාය ලබාදෙනවා” – අතුල් කේෂාප්

0
3

‍එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනා ඉටු කිරිම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බව මෙරට අමෙරිකානු තානාපති අතුල් කේෂාප් රජයට දැනුම් දී තිබේ.

අමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වන බවට අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පයෝ ඊයේ (20) නිවේදනය කළේ ය.

එම නිවේදනය සිදු කිරිමෙන් අනතුරුව මෙරට අමෙරිකානු තානාපති අතුල් කේෂාප් මෙරට රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හමු වී සාකච්ඡා කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව අමෙරිකා එක්සත් ජනපදයේ සම අනුග්‍රහය යටතේ 2015 වසරේ දී සහ 2017 වසරේ දී යෝජනා දෙකක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ලැබී ය.

එම යෝජනාවල ඇති කරුණු සපුරා ගැනිම සඳහා අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රි ලංකාවට පූර්ණ සහයෝගය ලබා දෙන බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

අදාළ යෝජනාවල කරුණු සපුරා ගැනිමේ දී ශ්‍රී ලංකාවට අඛණ්ඩ ප්‍රගතියක් අත්පත් කර ගැනිම සඳහා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරිම තුළින් ලොව පුරා සිටින මිතුරන් සහ හවුල්කරුවන් සමග කටයුතු කිරිමට ශ්‍රී ලංකාව සතු හැකියාව වැඩිදියුණු වන බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි.

ශ්‍රී ලංකාව සමග ඇතිකර ගත් අන්‍යෝන්‍ය සබඳතාව පවත්වාගනිමින් 2019 වසරේ මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකාවෙ ප්‍රගතිය වෙනුවෙන් ඉතා සමීපව කටයුතු කරන බව අමෙරිකානු තානාපති කාර්යාල නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here