අවුරුද්දට උතුරවන්නේ පොල්කිරි ද? එළකිරි ද?

0
69

නව වසරක්‌ එළැඹෙද්දී බොහෝ දෙනෙකුගේ සිතට නැඟෙන ප්‍රධානතම ගැටලුවක්‌ ඇත. එනම් කිරි ඉතිරවීම සඳහා ගත යුත්තේ කුමන කිරි වර්ගයක්‌ ද යන්නයි. සමහරු මේ සඳහා එළකිරි යොදාගන්නා අතර තවත් කොටසක්‌ කිරි ඉතිරවීම සඳහා පොල් කිරි යොදා ගනී.

අතීතයේ අප රට තුළ සියලුම ශුභ කටයුතු සඳහා යොදා ගනු ලැබුවේ එළකිරි බව නොරහසකි. අපගේ මුතුන් මිත්තන් අතරේ ප්‍රචලිත කියමනක්‌ විය. එනම් “බත බුලතින් හා කිරියෙන් පැණියෙන් ඉතිරේවා” යන්න ය. එය පුරාණයේ සිටම හදවත පත්ලෙන් කළ ප්‍රාර්ථනයකි. එසේ නම් එහි දී පැණි සමග මුසු කර ගනිමින් කෑමට ගනු ලැබුයේ පොල් කිරි දැයි ප්‍රශ්නයක්‌ මතුවෙයි.

කිරි, වෙඬරු, මෝරු, ගිතෙල් හා මී කිරි යන පස්‌ගෝ රස, සෞභාග්‍යයේ සංකේතයක්‌ ලෙස අතීතයේ සිටි අපගේ මුතුන් මිත්තන් අදහන ලද්දකි. ඒ පිළිබඳ අනන්තවත් සාක්‍ෂි ඉතිහාසයේ දක්‌නට ඇත.

ගෙන්වා එළදෙනකු සොඳට
දොවමින් කිරි මැටි බඳුනට
උතුරා ඉරු දෙවි නාමෙට
පහකර දොස මහ මුහුදට

ඉහත දැක්‌ වූ කවියට අනුව බලන විට අපගේ සියලු ශුභ කටයුතුවල දී කිරි ඉතිරීමේ චාරිත්‍රය ඉහළින්ම පිළිපැදීමට පැරැන්නෝ පුරුදුව සිටි බව පැහැදිලි ය. එමෙන්ම එහි අරුත වන්නේ දොස්‌ පහකර ගැනීම සඳහා එළකිරි යොදා ගත් බව නොවේ ද?

චිරාත් කාලයක්‌ මුළුල්ලේ පැවත එන කිරි ඉතිර වීමේ ක්‍රියාවලිය පිළිබඳ නොයෙක්‌ කතා ඉතිහාසයේ සටහන් ව ඇත.

ශක්‍ර දෙවියන්ගේ ආරාධනාවෙන් සත් පත්තිනි දේවිය, මදුරාපුර පාණ්‌ඩ්‍ය රජුගේ පිහිටා තිබූ තිනෙතින්, නළලේ පිහිටි නෙත මකා සත්වර අඹෙන් උපන්නීය. ඉන්පසු මදුරාපුර වඳුරු වසංගත දුරුකොට, අසරණ රටවැසියා සුවපත් කරවීම සඳහා එළදෙනකු ගෙනවිත්, කිරි දොවා උතුරවා, කිරි තෙල් ඉස රෝගී ජනතාව සුපත් කළ බව පැරණි පොත පතේ සඳහන් වෙයි.

එතැන් සිට අද වනතුරු පත්තිනි මෑණියන් වෙනුවෙන් පවත්වන ගම්මඩු උත්සවය අවසානයේ දී, ගිනි පෑගීමෙන් පසු කිරි ඉතිරවීම සිදු කරනු ලැබේ. අතීතයේ ඒ සඳහා භාවිතයට ගෙන ඇත්තේ සෞභාග්‍යයේ සංකේතය වූ එළකිරි ය. නමුත් වර්තමානයේ එම කිරි ඉතිරවීම සඳහා ගනු ලබනුයේ පොල්කිරි ය. එහෙත් ඇත්ත වශයෙන්ම ඒ වෙනුවෙන් යොදාගත යුත්තේ පොල්කිරි නොව, එළකිරි ය.

අතීතයේ වසංගත රෝගයකින් අප රටේ ගව සම්පත හිටි හැටියේ විනාශ වූ බව කියැවේ. ඉන්පසු එළකිරි සොයා ගැනීම ජනතාවට ප්‍රශ්නයක්‌ විය. එම ගව විනාශය හේතුවෙන් එළකිරි වෙනුවට පොල්කිරි භාවිතයට පැමිණ ඇති බව පෙනේ. ඉන්පසු කාලයාගේ ඇවෑමෙන් නැවත ගව ගහණය වැඩි වුවද, පොල් කිරි ඉතිරවීමේ පුරුද්ද අත්හැරීමට අප රටේ ජනතාව වැඩි කැමැත්තක්‌ දක්‌වා නැත.

දේවාල සංස්‌කෘතිය අප රට තුළ ප්‍රචලිත වීමත් සමඟ එළකිරි වෙනුවට පොල් කිරි ඉතිරවීමට කපු මහතුන් රුකුල් දී ඇති බවත් දැකගත හැකි ය. ඒ බව තහවුරු කරමින් වර්තමානයේ දී ද දේවාලයන්හී කෙරෙන දේව පූජාවන් සඳහා පොල් කිරි උතුරවනු දැක ගත හැකි ය.

එළකිරි වෙනුවට පොල්කිරි උතුරවන්නේ කුමක්‌ නිසා දැයි විමසූ විට බොහෝ දෙනෙකු පවසනුයේ එකම පිළිතුරකි. එනම් “එළකිරි” යනු ලේ (රුධිරය) බවත්, ලේ ඉතිරවීම පාපයක්‌ බව ය. එම පිළිතුරේ කිසිම සත්‍යතාවයක්‌ නැත. එසේ නම් ලේ අවශ්‍ය රෝගියෙකුට එළකිරි පයින්ට්‌ එකක්‌ දිය හැකි නොවේ ද?

එමෙන්ම දේවාලයන්හීත්, කෝවිල්වලත් දේව රූප නැහැවීම සඳහා භාවිත කරනුයේ එළකිරි ය. එළකිරි යනු ලේ නම් ලෙයින් දේව රූප නැහැවීම තරම් පාපකර්මයක්‌ තවත් මෙලොව ඇද් ද? සමහර කපු මහත්වරුන්ගෙන් මේ පිළිබඳව විමසූ විට, ඔවුන් ගෙන් පැහැදිලි පිළිතුරක්‌ නොලැබුණු අතර පාරම්පරිකව, ගතානුගතික ලෙසින් මෙම පොල් කිරි ඉතිර වීමේ චාරිත්‍රය තව දුරටත් පවත්වාගෙන යන බව පැවසිණි.

පොල් කිරි කිසිම ලෙසකින් සෞභාග්‍යයේ සංකේතයක්‌ වන්නේ නැති බව මා විශ්වාසයෙන් පවසමි. හින්දුවරුන්ගේ මළ ගෙවල්වලදී. දේහය නිවසෙන් පිටතට ගත් විගස, පොල් කිරි ඉසිමින් මෘත දේහය තිබූ ස්‌ථානයක්‌ ඒ අවටත් පිරිසිදු කරනුයේ සාම්ප්‍රදායානුකූල චාරිත්‍රයක්‌ ලෙසිනි. එහි අරුත වනුයේ පොල් කිරිවල විෂ බීජ නාශක ගුණයක්‌ ඇති බව මිසෙක එහි සෞභාග්‍යවත් ගුණයක්‌ ඇති බව නොවේ.

එමෙන්ම එදා මෙන් අද දවසේ ද මංගල කටයුතුවල දී පිළියෙල කරනු ලබන කිරිබතට හිමිවන්නේ ප්‍රධාන ස්‌ථානයක්‌ බව නොරහසකි. අතීතයේ දී මේ සඳහා යොදු ගනු ලැබුයේ සෞභාග්‍යයේ සංකේතය වූ එළකිරි ය. නමුත් අද දවසේ කිරිබත සෑදීමට භාවිත කරනුයේ පොල්කිරි ය. විදේශීය ආක්‍රමණයන්ගෙන් අප රටට දායා ද කෙරුණ පොල්ගස අපට කප්තුරක්‌ බව සැබෑ ය. නමුත් පොල්කිරි සෞභාග්‍යයේ සංකේතයක්‌ ලෙස දැක්‌විය නොහැකි ය.

අප විසින් කරන කියන දේවල් පිළිබඳව පමණක්‌ නොව පවත්වාගෙන එනු ලබන ගතානුගතික සිරිත් විරිත් පිළිබඳව ද ගැඹුරින් සිතා බැලිය යුතු කාලය එළඹ ඇති බව පෙනේ. කරන්නත් වාලේ දිගින් දිගමට ගතානුකත්වය තුළ රැඳී නොසිට, සෑම දෙයක්‌ දෙසම විමර්ශනාත්මකව සොයා බලා සත්‍ය ගවේෂණයක යෙදීමට උදාවන නව වසරේදී වත් අදිටන් කර ගැනීම ඉතා වැදගත් වනු ඇත.

පාරම්පරික ජ්‍යෙතිෂ්‍යවේදී, කොටදෙණියාවේ ඩී. ඩග්ලස්‌ නිමලවංශ ගුණවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here